(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (23) පැවසීය.
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 2.1 කින් වැඩිවී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. මෙහිදි මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ද ඉදිරිපත් කළේය.
දැනුම් දී තිබෙන අදාළ කාලරාමුව තුළ අපේක්ෂිත පරිදි ණය පොළී අනුපාතිකවල පහළ යෑම සිදු නොවුණහොත් මූල්‍ය ආයතනවල වෙළෙඳපොළ ණය පොළී අනුපාතික සඳහා සුදුසු සීමා පැනවීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ වෙළෙඳපොළ ණය පොළී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරන බවත් ණය පොළී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවුණහොත් සුදුසු සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් හෙතෙම කීවේය. අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා බව ද මහ බැංකු අධිපතිවරයා කීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල නොවූ බවත් එහෙත් සති කිහිපයකදී යම් පසු බැසීමක් වූ බවත් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේය.
තැන්පතු අනුපාත සහ බැංකු මත දැනටමත් අදාළ සීමා පනවා ඇතැයි ද ඔහු පැවැසීය.
මේ අතර මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කරන බව මහ බැංකුව නිවේදනය කළේය.