ඩුබායිහිදීය (රොයිටර්ස්)
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා ඉදිරි මාස දෙකක කාලයේදී කොළඹට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 50%කින් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවැසීය.
එම ප්‍රහාර මාලාව නිසා කොළඹින් පිට ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 30%කින් පමණ අඩුවනු ඇතැයි ද ඔහු කීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති සංචාරක සමුළුවකදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු එම කරුණු සඳහන් කළේය.
මේ වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම රුපියල් කෝටි 13,125ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 750) අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන තෙවැනි විශාලතම ක්ෂේත්‍රය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයයි. ශ්‍රී ලංකාව වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ ඇඟළුම් අපනයනයි. පසුගිය වසරේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.9%ක් විය.
මේ වසරේදී සංචාරකයන් ලක්ෂ 25ක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයි ද කිෂූ ගෝමස් මහතා පැවැසීය.
“සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණේවි. ඉදිරි මාස කිහිපයේදී සංචාරක කර්මාන්තය කඩා වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එම කර්මාන්තයට සහන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද කිෂූ ගෝමස් මහතා කීවේය.
“ආරක්ෂක අංශ ඉදිරි දින දෙක තුනේදී ආරක්ෂාව තහවුරු බවට ප්‍රබල ප්‍රකාශයක් කළහොත් රට ගැන නැවත වරක් විශ්වාස ගොඩනැගේවී” යැයි ද හෙතෙම කීවේය.
මේ අතර පසුගිය සතියේදී ගුවන් ගමන් අවලංගු කිරීම් 10%කින් වැඩි වූ බවත් එම සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවනු ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පැවැසීය.
055