(හර්ෂණ තුෂාර සිල්වා)
ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා (6) ප්‍රකාශ කළේය.
නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කළ යුතු යැයි ද ප්‍රේමදාස මහතා පැවැසීය.
කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.
“ජනාධිපතිවරණයකට මුහුණ දී එම දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර මේ රට නව මාවතකට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ අපේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය අපි බාර අරගෙන තිබෙනවා.
මිත්‍රවරුණි, මෙම මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. අපි වැඩ කරලා ඔප්පු කරලා තිබෙනවා. අපි ජනතාවට දැවැන්ත සේවාවක් කරලා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලූම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේදී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, එම සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළකට කාලය එළැඹ තිබෙනවා.
අපි රටක් හැටියට ලොව දිනන්නට ඕනේ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනේ. නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කරලා නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනේ. එම ආර්ථික රටාව ශක්තිමත් කරන්න ඕනේ”.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා