‘‘පසුගිය වසරේ තේ කම්හල් 63 ක් වැහිලා‘‘


(විජේරත්න රත්නායක )

ගිය වසරේ ලංකාවේ තේ කර්මාන්ත ශාලා 63 ක් වැසී ගොස් ඇති බවත් තවත් කර්මාන්ත ශාලා 50 ක් පමණ වැසීයාමට ආසන්නව ඇති බවත් කුඩා තේ වතු සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී අද (13) පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ රැස්වීමකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජයේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට ඉතා කණගාටුදායක තත්වයකට පත්ව අති බවත් ඒ මහතා කීය.

මෙහිදී කුඩා තේ වතු හිමියන් 500 දෙනෙකුට අවශ්‍ය ආවුද හා උපකරණ රාශියක්ද බෙදාදුන් අතර පසුගිය රජය මිලදීගෙන තිබූ එම උපකරණ මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයිද පසුගිය මාර්තුවල සිට තේ වගා සහනාධාර මුදල් ගෙවා නොමැති අතර ඒ මුදල් යොදවා පසුගිය ජනාධිපතිවරණයේදී බෙදීමට මෙම බඩු මිලදී ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම වෙළඳපොලේ රුපියල් 1200 කට අඩුවෙන් ලබාගත හැකි මුල්ලුවක් රුපියල් 2750 බැගින් මුල්ලු 11000 ක් මිලදීගෙන ඇති බවත් වතුර මෝටර් 6000 ක් සහ දියර ඉසින යන්ත්‍ර 4500 ක් මිලදී ගෙන ඇති අතර ඒවා මිලදීගැනීමට හේතුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හෝ නොදන්නා බවත් ඡන්ද කාලයේ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු ගොවීන්ට බෙදාදීමට ඒවා මිලදී ගන්නට ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට ඇතැම් වැවිලි සමාගම් තේ වගාවෙන් ඉවත්ව වෙනත් වගා හෝ වෙනත් කර්මාන්ත කරා යොමුවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, තව දුරටත් තේ වගාවට යොමු නොවන, තේ කර්මාන්ත ශාලා තව දුරටත් වසා තබන සමාගම් කීපයක් හෝ රජයට පවරාගෙන එම සමාගම් සතු ඉඩම් කුඩා තේ වතු හිමියන්ට බෙදා දීමට තීරණය කර ඇතැයිද සඳහන් කළේය.

පසුගිය රජය වර්ෂ 2017, 2018, 2019 යන වර්ෂයන්හිදී පොහොර සමාගම්වලින් ගත් පොහොර සඳහා රුපියල් කෝටි 230 ගෙවා නැතැයිද එම රජය ප්‍රමුඛත්වය දුන්නේ පොහොරවලට ගෙවීමට ඇති බිලියන 23 ගැන නොව වාහනවලට ගෙවීමට ඇති බිලියන 28 ගැන බවද වැඩිදුරටත් පැවසීය.