(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට හෝටල් කර්මාන්තය බරපතල අර්බුදකාරී තතත්වයකට පත්කරමින් රටපුරා හෝටල් කාමර 90%ක් පමණ හිස්ව පවතින බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ලංකාදීපයට පැවැසීය.
සංචාරකයින් විසින් වෙන්කර තිබූ හෝටල් කාමර මේ වනවිට අවලංගු කරමින් පවතින බව සඳහන් කළ ඒ මහතා හෝටල් කර්මාන්තය ඉදිරියට පවත්වා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසීය.
මේ වනවිට රටවල් ගණනක රජයන් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බැවින් ඉදිරි කාලයේදී සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව සභාපතිවරයා පැවැසීය.
රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ මේවනවිට ගෙන ඇති ක‍්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකවේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසට තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
හෝටල් කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
හෝටල් කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් රජය මගින් ක‍්‍රියාත්මක කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවද සනත් උක්වත්ත මහතා වැඩිදුරටත් කීය.
‘‘ප්රහාරයෙන් පසු රටපුරා හෝටල් කාමර සියයට 90ක් හිස්‘‘
Recommended Articles