‘‘රට දිනවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට කැපවෙනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

රට දිනවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී කැපවන බව ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කොළඹදී  පැවැසීය.

මෙරට ජනතාවගේ ජීවන තත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික සැලසුම් සකස් කර ඒ මගින් රට දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි පැවැසීය.

කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී  අද (26) යෙදුනු සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශීර්වාද මැද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ භාරගනු ලැබීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මෙසේද කීවේය.

      ‘‘මෙරට සියළුම දෙනාට ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙන සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. පසුගිය වසර තුනක කාලය තුළ අපි ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ගෙන ගියා. එහිදී අපිට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවුණා.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව රජයක් මගින් ආර්ථික වශයෙන් රට ගොඩනැගීම සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. මේ නව තනතුරත් සමඟ රට මුහුණ දී තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටත් ඒ සඳහා  නායකත්වය දීමටත් මම කැපවෙනවා.

සෞඛ්‍ය, අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ක්ෂේත‍්‍රවල ධනාත්මක ප‍්‍රතිසංස්කරණ මෙරටට හඳුන්වාදීම ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් විරුද්ධ අදහස් දක්වන පිරිස් සමඟ බුද්ධිමය සංවාදයේ යෙදීමට අපි සූදානම්.

මෙරට අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ  අභියෝගය අපි ජය ගතයුතුයි. ඒ මගින් රට වැටි ඇති ප‍්‍රපාතයෙන් අපි ගොඩගත යුතුයි’’ යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.