දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වෙනි ගුණ සැමරුම මේ මස 26 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙරට යම් යම් කාල වකවානුවලදී විවිධ ක්ෂේත්‍ර තුළ සුවිශේෂී කාර්යභාර්යන් ඉටු කළ ප්‍රතාපවත් ජනතා නායකයන් බිහි වී ඇත. ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහය තුළ යුග පෙරළියක් කළ මහා යුග පුරුෂයකු ලෙස වසර 62 කට පෙර අපෙන් සමුගත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක දිවංගත අගමැතිතුමා අවිවාදයෙන් යුතුව නම් කළ හැකිය.
මෙලොව බිහි වූ සෑම ජාති හිතෛෂියකුගේම, දේශප්‍රේමියකුගේම හා ජනතා නායකයකුගේම එකම බලාපොරොත්තුව වන්නේ තමන් උපන් මාතෘ භූමියට උපරිම අන්දමේ සේවාවක් ඉටු කිරීමය. එනමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යුතුව කටයුතු කරන එවන් උදවිය සොයා ගත හැක්කේ ඉතාම කලාතුරකිනි. අද අපි සිහිපත් කරන දිවංගත බණ්ඩාරනායක මහතා එවැනි ශ්‍රේෂ්ඨ පුත් රුවනකි.
නිදහස් ලංකාවේ බිහි වූ පළමු ආණ්ඩුවේ සභානායක ධුරයත්, සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයත් ලැබූ බණ්ඩාරනායක මහතාට ආණ්ඩුවේ ගමන් මග පිළිබඳ පැහැදිලි විශ්වාසයක් නොවීය. අන්ත වාමාංශික හෝ අන්ත දක්ෂිණාංශික නොවන දේශපාලනයේ මැදුම් පිළිවෙත අනුගමනය කරන නව පක්ෂයක් බිහි කිරීම සඳහා 1951 වර්ෂයේ දී දැරූ සියලු තනතුරු අත්හැර ඔහු විරුද්ධ පක්ෂයට එක්විය. තමා බිහි කළ නව පක්ෂය 1952 මහ මැතිවරණය වනවිට ප්‍රශස්ත ජයග්‍රාහී මට්ටමකට පත් කිරීමට සමත් වූ මෙතුමා එම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත්විය. 1956 මැතිවරණයේදී බිහිකර ගත් නව සන්ධානය තුළින් පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී යුග පෙරළියක් ඇති කරන්නට මෙතුමාට හැකි විය.
එදා එම දේශපාලන සංසිද්ධිය මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් දුටුවේ “බමුණු කුලයේ බිඳ වැටීමක්” ලෙසිනි. රජය බිහි කර කෙටි කලක් තුළ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරවා ගනිමින් බස් ව්‍යාපාරය, වරාය ජනසතු කරන්නට ලෝකයේ සියලු ජාතීන් සමඟ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට හා බහුතර ජනතාව කථා කරන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නට සහ අන් ආගම්වලට ලැබිය යුතු නිසි තැන ලබාදෙමින් බුද්ධාගම ආරක්ෂා කරමින් පෝෂණය කරන්නට ගත් ප්‍රගතිශීලී පියවර දේශපාලන විරුද්ධවාදීන්ගේ පමණක් නොව කැබිනට් මණ්ඩලයේ සිටි සමහර සාමාජිකයන්ගේ ද විවේචනයට ලක් විය.
මෙලොව බිහි වූ රාජ්‍ය නායකයන් අතර මෙතුමා තරම් ප්‍රශ්න, ගැටලු, අභියෝගවලට මුහුණ දුන් තවත් නායකයකු නොවීය. මතවාදීව බණ්ඩාරනායකයන් පරාජයට පත් කළ නොහැකි වූ තැන ශාරීරිකව එතුමා ඝාතනය කොට සමාජයෙන් ඉවත් කරන්නට විරුද්ධවාදීහු පසුබට නොවූහ. 1959 සැප්තැම්බර් 25 වැනිදා එතුමාගේ පපුවට එල්ල වූ වෙඩි උණ්ඩය හුදෙක් තනි පුද්ගලයකුගේ ප්‍රාණය නිරුද්ධ කරන්නට එල්ල කළ ප්‍රහාරයක් නොවීය. එය මේ රටේ දීර්ඝ කාලයක සිට සමාජ අසාධාරණයන්ට ලක්ව සිටි පොදු ජනතාවට එල්ල කළ වෙඩි උණ්ඩයක් විය.
බණ්ඩාරනායක මහතා අපට අමරණීය චරිතයක් වන්නේ එතුමා අප රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු පමණක් නොව දේශපාලන දර්ශනයෙන් අප රට තුළ වපුල ජන නායකයකු ද වන නිසාවෙනි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි අභිමානවත් වසර යෙදී තිබුණේ මේ වසරේ වසරේ සැප්තැම්බර් 2 වැනිදාටය.
නිදහසින් පසු 1956, 1964, 1970, 1993 හා 2004 යන වර්ෂවලදී විවිධ සන්ධාන සමග එක්වෙමින් නායකත්වය ලබා වැඩිම කාලයක් මෙරට පාලන බලය හොබවමින් සිටි එකම පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙවන් නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී ඇත්තේ පක්ෂ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දිවංගත වූවාට පසුව වීම විශේෂත්වයකි. එයට හේතු වී ඇත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන චින්තනය හා බැඳුණු ජනසම්මතව පූර්ණ අයිතීන් ජනතාවට බුක්ති විඳීමට හැකි ක්‍රියාකලාපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබවින්ම අනුගමනය කළ නිසාවෙනි.
අප රට තුළ මියගොස් ඇති කොතෙක් නායකයන් සිටියද දිවංගත යන ගෞරවාර්ථය වඩාත් ගැලපී ඇත්තේ බණ්ඩාරනායක මහතාට වීමද සුවිශේෂී දෙයකි. ඒ, බණ්ඩාරනායක මහතා දිවංගත වුවද එතුමන්ගේ චින්තනය තවමත් දිවංගත නොවී ඇති නිසාවෙන් බව නොරහසකි. පංච මහා බලවේගයේ මුදුන් මුල මත මීට වසර 70 කට පෙර ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ මහා වෘක්ෂය තවමත් ශක්තිමත්ය.
මිනිස් නිදහසට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මූලධර්මවලින් ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සැබෑ අභිලාශයෙන් අවංක ශක්තිමත් රාජ්‍ය පාලනයක් සහිත සැමට ආත්ම ගෞරවයකින් යුතුව ජීවත් විය හැකි යහපත් දේශයක් බිහි කිරීමේ ලා සුවිශේෂ කාර්යභාරයක් මෙරට ස්ථාපිත කළ පක්ෂයක් බව අමතක නොකළ යුතුය.
බණ්ඩාරනායක මැතිතුමනි, ඔබ එදා ගොඩනැගූ ශක්තිමත් පක්ෂය අද දවසේ ද ජනතා හදවත් තුළ ද ශක්තිමත්ව ඇත. එහෙයින් ඔබ මිය ගිය ද ඔබගේ චින්තනය තවමත් දිවංගත වී නොමැත.
ජීවත් වූ බණ්ඩාරනායකට වඩා දිවංගත වූ බණ්ඩාරනායක අදත් මේ රටේ ජනතාවගේ හදවත් තුළ ජීවත් වන බව සමාජයේ පොදු මතයක් බවට පත්ව ඇත.
සිරිලක් මාතාවට අනුපමේය යුග මෙහෙවරක් ඉටු කළ දිවංගත යුග පුරුෂයාණනි, ඔබ මියගොස් වසර 62ක් ගෙවී ගිය ද මම ඔබට නිවන් සුව නොපතමි. අප බලාපොරොත්තු වන නොනිමි යුග මෙහෙවර ඉටු කිරීමට නැවතත් මේ සිරිලක් දෙරණේ ඉපිදේවායි මම මුළු හදින්ම ප්‍රාර්ථනා කරමි.
(***)
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ෂාන් විජයලාල් ද සිල්වා