ආරක්ෂකයාගෙන් ප්‍රංශ ජනපතිට තොණ්ඩුවක්


ඔහු නමින් ඇලෙක්සන්ඩර් බෙනලා වයස අවුරුදු 27ක් වූ ප‍්‍රභූ ආරක්ෂාව සඳහා විශ්ව විද්‍යයාල ඩිප්ලෝමාවක් හිමි මොරොක්කෝ ජාතික පවුලකට දාව ප‍්‍රංශයේදී උපන් අයෙකි.

2018 මැයි 01 වෙනිදා පැරීසියේ පැවති මැයි පෙලපාළියකදී ධනපති විරෝධී උද්ඝෝෂණයකට සහභාගි වෙමින් කලහකාරී ලෙස හැසිරුණ උද්ඝෝෂකයන් පිරිසක් මර්දනය කිරීමට ප‍්‍රංශ පොලිස් භටයන්ට සිදුව තිබිණි. පොලිස් භටයන් අතර සිවිල් ඇදුමින් සැරසී හිස් ආවරනයක් පැළඳ දකුණු අතේ වැලමිටට ඉහළින් පොලිසිය යනුවෙන් සඳහන් පටියක් පැළඳ සිටි ඉහත සඳහන් ඇලෙක්සන්ඩර් බෙනාලා විසින් පොලිස් භටයන්ට අවනත නොවී හැසිරුණු උද්ඝෝෂකයන් දෙදෙනෙකු අල්ලා මහ පාර දිගේ ඇදගෙන ගොස් පදික වේදිකාවේ හිදුවා අත් වලට මාංචු දමා ඔවුන් නිසල කළේය.

ඒ පිරිමියෙන් සහ කාන්තාවකි.කාන්තාවගේ හැසිරීම මෙල්ල කිරීම සඳහා කිහිප විටක් සුළු වශයෙන් පහර දීමක්ද සිදු වූයේය. මැයි පෙලපාළිය අවසන් වීමෙන් පසු ඔවුන්ව අත්අඩංගුවෙන් මුදා හැරුන අතර එම සිදුවීම අතීතයට එක් වූයේය. කෙසේ නමුත් මෙම සිදුවීම එතැන සිටි කෙනෙකු විසින් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබු බව කිසිවෙකුත් නොදන්නේය. මාසයකට පමණ පසු වීඩියෝ ගත කළ පුද්ගලයා විසින් මෙම වීඩියෝ පටය මුහුණු පොතට එක් කළේය.

වීඩියෝ පටය සුපරික්ෂාකාරී ලෙස නිරීක්ෂනය කළ ප‍්‍රංශයේ පළවන ප‍්‍රධාන පුවත් පතක් වන ”ලෙමොන්ඞ්” පුවත් පත කාන්තාවට පහර දෙන ඉහත සිද්ධියට අදාල සිවිල් ඇදුමින් සැරසී සිටි පුද්ගලයා ප‍්‍රංශ ජනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් බව ජුලි මස 18 වෙනිදා පුවත් පතේ ප‍්‍රධාන පුවතෙන් හෙළි කළේය.

එම හෙළි කිරීමත් සමග ජනාධිපති මන්දිරයේ සේවකයෝ දෙබරයකට ගල් ගැසුවාසේ කලබලයට පත් වූහ. ඒවන විට ප‍්‍රංශයේ විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සියල්ලම මෙම සිදුවීම ගැන විවිධ වාර්තා පළකිරීමට පෙරමුණ ගත්තේය. එසේවූ හෙයින් පඩි රහිත සති දෙකක දඬුවම් නිවාඩුවක් ලබා දෙමින් ඔහුගේ නිවසට සීමාකර සති දෙකෙන් පසු නැවත සේවයට වාර්තා කිරීමට ඔහුට අවස්ථාව ලබා දුන්නේය.

ප‍්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා විශේෂ කන්ඩායමක් අභ්‍යයන්තර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින ප‍්‍රංශ පොලිසියේ ස්ථාපිත කර ඇත. එවැනි අංශයකට අයත් නොවන කෙනෙකු ජනාධිපති ආරක්ෂාවට එක් වූයේ කෙසේද? එවැන්නෙක් මැයි පෙලපාළියක් වැනි විශේෂ අවස්ථාවකදී මහ පාරේ ආරක්ෂාවට පැමිණියේ මන්ද? ඔහුට ඒ සඳහා අවසර දුන්නේ කවුද? ඇත්තටම ඔහු කවුද ආදි ලෙස ප‍්‍රශ්න ගණනාවක් ඉහත පුවත් පත විසින් පෙන්වනු ලැබ තිබිණි.

ඒ අතරතුර පෙලපාළිකරුවන්ගේ සංවිධානයක් විසින් ඇලෙක්සන්ඩර් බෙනාලාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්වීම හේතුවෙන් පරීක්ෂණයක් ආරම්භවූ බැවින් ඔහුගේ සේවය අත්හිටුවීමට ජනාධිපති කාර්යාලයට සිදු විය. මෙම සිදුවීම ප‍්‍රධාන කොට ප‍්‍රංශ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා මාධ්‍ය විසින් ජනාධිපතිට විරුද්ධව අදහස් පල කිරීමත් ජනාධිපති ආරක්ෂාව ගැන විවිධ විවේචන එල්ල වීමත් හේතුවෙන් ජනාධිපතිවරයාට මහජනයා ඉදිරියේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිදුවූයේය.

එහිදී ඇලෙක්සැන්ඩර් බෙනලා ජනාධිපති කාර්යාලයේ සේවය කළ බවත් ඔහුගේ සේවා කාලය ගැන සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව පවසමින් ඔහු තමාගේ ආදරවන්තයෙක් නොවන බවද ජනාධිපති පැවසීය.

එවැනි ප‍්‍රකාශයක් කිරීම ගැන ප‍්‍රංශ ජනපති ආර්යාව එතරම් කැමැත්තක් නොදැක්වූ බව මාධ්‍ය වාර්තා පළකර තිබුණි. කෙසේ නමුත් ජනපති මුවින් එවැනි වදන් වැක් පිට විය. එසේ කීමට සිදුවූයේ ඇයි?

වයස අවුරුදු 27ක් වයසැති ඇලෙක්සැන්ඩර් බෙනාලා කඩවසම් තරුණයෙකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වර්ෂ 2010දී ප‍්‍රංශ සමාජවාදී පක්ෂයේ සමාජිකත්වය ලබා ගනී. ඉන් අනතුරුව ඔහුට ඇති සුදුසුකම් මත එවකට එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල හිටපු රැකී රක්ෂා ඇමතිවරියක වූ මාර්ටින් ඔබ්රි මහත්මියගේ ආරක්ෂාවට බඳවා ගනී.

2012 වසරේ පැවැත්වු ජනාධිපතිවරණයේදී සමාජවාදී අපේක්ෂක ප‍්‍රන්ශුවා ඔලොන්ද් මහතාගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන්නේය. ඒ සඳහා ඔහුට එම පක්ෂයෙන් වැටුපක්ද ලැබිණි. 2017 ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වූ එම්මානුවෙල් මැක්රොන් මහතාගේ මැතිවරණ සමයේ සිට ඔහුගේ ආරක්ෂාව සඳහා මොහු තෝරා ගත් අතර මැතිවරණය ජය ගත් පසු ජනාධිපති ජනාධිපති කාර්ය මන්ඩලයේ සහකාර තනතුරක් දරමින් ජනාධිපතිගේ ආරක්ෂාවට අනුයුක්තව සිටියේය.

2018 මැයි 01 වෙනිදා ඉහත සඳහන් සිද්ධිය කරලියට පැමිණෙන තුරු ඔහු ජනාධිපතිගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කල බව ජනාධිපති තුමාගේ දේශීය හා විදේශීය සංචාරයන්හීදී ඔහුගේ ළගින්ම සිටි කෙනෙකු බවත් මනාවට පැහැදිලිවේ.

මැතිවරණ සමයේ පක්ෂ කාර්යාල මූලස්ථානයේ සිව්වන මහලේ පිහිටි මැක්රොන් මහතාගේ විවේක කාමරයට අවසරයකින් තොරව ඇතුල්විය හැකි පුද්ගලයා ඔහුය. ජනාධිපතිගේ පෞද්ගලික සංචාරක වලදී ඔහු ළගින්ම සිටි එකම ආරක්ෂකයා ඔහුය. එබැවින් ජනාධිපතිගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ බවට සාක්ෂි  ඕනෑවටත් වඩා තිබේ. ඒ අතරතුර 2018 ලෝක පාපන්දු ශූරතාවය ජය ගත් ප‍්‍රංශ කණ්ඩායම ප‍්‍රංශයට පැමිණි මොහොතේ ගුවන් යානයෙන් බැස ඔවුන් සඳහා සූදානම් කළ විශේෂ බස් රථයට පැමිණෙන අවස්ථාවේදීද ඇලෙක්සැන්ඩර් බෙනාලා බස් රථය ලඟ සිටියේය. ඔහු එතැනට පැමිණියේ මන්ද්? කාගේ අනුමැතියක් උඩද? ඔහුට ගිනි අවි දෙකක් ලබාදී තිබූ අතර එම ගිනි අවි නිකුත් කිරීමට අනුමැතිය දුන්නේ කවුද? ආදී ලෙස ඔහුට විරුද්ධව චෝදනා රාශියක් කරලියට පැමිණියේය.ෙමේ හේතු වන ඔහුට ඇති චෝදනා පිරික්සීමට පාර්ලිමේන්තුුවේ හා සෙනෙට් සභාවේ විශේෂ කොමිසමක් පත් කළේය. පාර්ලිමේන්තු කොමිසම ඉදිරියට යෑම ප‍්‍රතික්ෂේප කළ ඔහු 25 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභා කොමිසම ඉදිරියේ නැගූ ප‍්‍රශ්න වලට වාචිකව පිළිතුරු දෙමින් ජනාධිපති කාර්‍ය මණ්ඩල නිලධාරියෙක් ලෙස සේවය කළ බව පිළිගනිමින් ආරක්ෂකයෙකු ලෙස සේවය නොකළ බව පුන පුනා කීවේය. අවසානයේ කොමිසම් වාර්තාවෙන් පසු ඔහුට එරෙහි මූලික පොලිස් පරීක්ෂනයක් ආරම්භ වූයේය. ජනාධිපති මන්දිරයේ ඔහුගේ අල්මාරිය, නිවෙස පොලිස් පරික්ෂාවට ලක් විය.‍ෙබොහෝ දේ අස්ථානගතවී ඇති බව සොයා ගෙන ඇත. ඔහු නිවසට පැමිණෙන සෑම අවස්ථාවකම ආයුධ ලඟ තබා ගෙන ඇත. එය නීති විරෝධීය. මසකට යුරෝ 10000 ක වැටුපක් ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත. හෙළිකර ගත් සාක්ෂි අනුව ඔහුට විරුද්ධව අධිකණයේ නඩු පවරනු ලැබීය.

 කාලය කෙමෙන් ගත විය. ප‍්‍රංශ ජනාධිපතිට දෙසැම්බර් 22 අප‍්‍රිකානු සංචාරයක් ආරම්භ කරමින් චඞ් රාජ්‍යයට යෑමට නියමිතව තිබුණි. ඊට දින කිහිපයකට පෙර මීඩියා පාට් වෙබ් අඩවිය විසින් තවත් හෙළිකිරීමක් කරලියට ගෙන ආවේය.

එහි සඳහන් වුයේ ඇලෙක්සැන්ඩර් බෙනාලා හය දෙනෛකු සමඟ පෞද්ගලික ජෙට් යානාවකින් දෙසැම්බර් පළමු සතියේ එනම් ජනාධිපතිගේ සංචාරයට සති දෙකකට පෙර  චඞ් රාජ්‍යයට ගොස් එහි අගනුවර හිල්ටන් හෝටලයේ ලැගුම් ගෙන ඇත. පසුව චඞ් රාජ්‍යයේ ජනාධිපති සොහොයුරා වන ඔමාර් ඩෙබී හමුවී ඇත.

චඞ් රාජ්‍යයේ ආයුධ මිලදී ගැනීම හා මූලෝපායික සංචිතයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඔහුය. බෙනාලා විසින් මෙම ගමන සඳහා රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් පාවිච්චි කර ඇති බව ඉහත වෙබ් අඩවිය විසින් හෙළි කළේය. වැඩ තහනමට ලක්වී සිටින ඔහු මෙවැනි ගුවන් ගමන් පතක් භාවිතා කලේ කෙසේද යන්න ප‍්‍රශ්නයක් විය.

මේ හේතු වෙන් නැවතත් දේශපාලන කරලිය ගිනියම් විය. විවිධ දේශපාලන විවේචනවල අඩුවක් නොවීය. ඒ අතර තුර ඔහුට එක බලපත‍්‍රයක් නොව රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත් හතරක් ඇති බවත් ඔහුට ලබාදී ඇති අතිශයින්ම ආරක්ෂිත රාජ්‍ය ජංගම දුරකථනය භාවිතා කරන බවද කැනා ඔන්චෙනේ පුවත් පත විසින් ජනවාරී මස 10 වෙනිදා හෙළි කළේය. යුරෝ 2500ක් පමණ වටිනා විශේෂ ආරක්ෂිත නවීන උපකරණ නිපදවන තලීස් සමාගම විසින් නිශ්පාදිත මෙම තියෝරෙම් වර්ගයේ දුරකථනය හැකරුන්ට අසු නොවන අතිශයිින්ම සුරක්ෂිතය.

ප‍්‍රංශ ජනාධිපතිගේ ළඟම උපදේශකයෝ හමුදා ප‍්‍රධානීන් සමඟ අතිශය රහස් අදහස් හුවමාරු කර ගැනීමට ජනාධිපති භාවිතා කරන්නේ මෙවැනි දුරකථනයකි. මෙම සිද්ධියෙන් පසු පසුගිය 11 වෙනිදා ඔහු දුරකථනය ජනාධිපති කාර්යාලයට භාරදී ඇත්තේය.

මේ කරුණු හේතු වෙන් නැවතත් සෙනට් සභා කොමිසම බලධාරීන් කැඳවා ප‍්‍රශ්න කළේය. එහිදී ජනාධිපති කාර්ය මන්ඩල ප‍්‍රධානී පැට්රික් ස්ට්‍රෝඩා විසින් හෙළිකල කරුණු අනුව අගෝස්තු 01 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 20 වතාවක් ගුවන් ගමන් බලපත‍්‍ර භාවිතා කර ඇති අතර එංගලන්තය, අපි‍්‍රකාව, ඊශ්‍රායලය යන රටවල සංචාරය කර ඇති බව හෙළිවී ඇත.

ඇලෙක්සැන්ඩර් බෙනාලාට එරෙහි නැවත පරීක්ෂණ ආරම්භ කරමින් ජනවාරි 16 වෙනි බදාදා පොලිසිය විසින් ඔහු අත් අඬංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ රඳවා දින දෙකකින් නිදහස් කළේය.

ඉන්පසු නැවත වතාවක් ජනවාරී 21 වෙනිදා සෙනට් සභා කොමිසම ඉදිරියේ පැය දෙකකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමට ලක් විය. එහිදී රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර‍්‍රය භාවිතා කිරීම හා චඞ් රාජ්‍යයේ කළ සංචාරය හා රාජකාරී දුරකථනය ගැන ප‍්‍රශ්න කළ අතර ඒ සෑම අවස්ථාවකදීම අධිකරණයේ පරීක්ෂණ සිදුවෙන බව කියමින් ඇතැම් ප‍්‍රශ්න වලට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කළේය. ඔහු විසින් කරුණු සඟවන බව සෙනෙට් සභා කොමිසමේ බහුතරයකගේ මතයවේ.

කෙසේ නමුදු ඔහුට විරුද්ධව ප‍්‍රබල චොදනා රැසක් අධිකරණය ඉදිරියේ ගොනු වෙමින් පවතී. ඔහු වැරදිකරු වුවහොත් යුරෝ 45000ක (රුපියල් ලක්ෂ 90 ක) දඩයකට හා වසර තුනක උපරිම සිර දඬුවමකට යටත් වන්නේය.

ප‍්‍රංශයේ ව්‍යවස්ථාවට අනුව ප‍්‍රංශ ජනාධිපතිගේ ආරක්ෂාවට විශේෂිත පොලිස් කණ්ඩායමක් සිටින බැවින් ඔහුගේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂකයෙකු තබා ගැනීම නීතියට පටහැනිය. මෙවැනි කරුනු රාශියක් හේතුවෙන් දැඩි විවේචන රැල්ලකට ප‍්‍රංශ ජනපති අසුවී සිටින්නේය.

මෙම සිදුවීම් හමුවේ ඔහුගේ ජනපි‍්‍රයත්වය සීඝ‍්‍රයෙන් පහල යමින් තිබේ. කෙසේ මෙම සිදුවීම අරභයා විවිධ කතා රාශියක් ප‍්‍රංශ මාධ්‍ය තුළ කතා බහට ලක් වෙමින් තිබෙන අතර නුදුරු අනාගතයේදී පුදුමය දනවන කතා රැුසක් දැන ගැනීමටද පාඨකයාට අවස්ථාවක් ලැබෙන්නේය.

 

සුනිල් ආනන්ද පැරීසියේ සිට