උස්සා පොළොවේ ගැසූ පොලිස් නිලධාරියා කියන කතා


 

 

නොවැම්බර් මාසයේ උදාවත් සමග මහනුවර නගරයේ ජනතාව අතර කිසියම් තැතිගැන්මක් ඇතිවූයේත් විවිධ කටකතාවලින් පිරීගියේත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී නවීන පන්නයේ ප‍්‍රාඩෝ රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු විදේශීය කාන්තාවක පැහැරගෙන යාමට තැත් කිරීම වැළැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියක් පිළිබඳ ආරංචිය පැතිරයාමත් සමගිනි.
සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනා මහනුවර දිස්ති‍්‍රක්කයේ තරුණ දේශපාලකයෙකුගේ නමද භාවිත කරමින් මෙම කටයුත්ත සිදුකර ඇති බවට තවත් ආරංචියක් පැතිරයාම නිසාම බොහෝ දෙනා මෙම සිද්ධියේ අගමුල සොයා බැලීමට තවත් උත්සුක වූහ.

මේ ගැන සටහනක් තැබීමට පෙර මහනුවර නගරයේ දිවා කාලයේ මෙන්ම විශේෂයෙන් රාති‍්‍ර කාලයේ සිදුවන කි‍්‍රයාකාරකම් පිළිබඳ සටහනක් තැබීම වැදගත් යැයි සිතුවෙමි.

මහනුවර නගරයේ මේ දිනවලදී රංචු පිටින් සැරිසරණ විදේශීය තරුණියන් දැකගත හැකිය. මෙම තරුණියන් මහනුවර අවට ඇති ලොජ් සහ වෙනත් කුඩා නිවාස කෙටිකාලයකට කුලියට ගෙන ජීවත්වෙති.

මෙම තරුණියන් මෙසේ පැමිණ සිදුකරන්නේ කුමක්ද? ඔවුන් ගැවසෙන්නේ කොහේද? විශේෂයෙන් රාති‍්‍ර කාලයේ ඔවුන්ගේ භූමිකාව කෙබඳුද? යන්න සොයා බැලීම බුද්ධි අංශ නිලධාරින්ට අයිති කටයුත්තකි.

පසුගිය සැප්තැම්බර් මස තිස් එක්වැනිදා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපස ගේට්ටුව භාර රාජකාරිවල නිරතවූයේ පොලිස් සැරයන් වජිර පි‍්‍රයන්ත ජයමහ මහතායි.

මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ජයමහ මහතා ඉරිදා ලංකාදීපයට කරුණු අනාවරණය කරමින් පවසා සිටියේ මෙවැන්නකි.

මම සවස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරි භාරගෙන රාජකාරි කරමින් සිටින විට රාති‍්‍ර 9.25ට පමණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයෙන්ම ඇති වඩුගොඩපිටිය වීදිය ඔස්සේ ටයර් ශබ්ද නගමින් වාහන කිහිපයක් පැමිණෙන ශබ්දය ඇහුණා.

ඒ සමගම ති‍්‍රරෝද රියක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිට නවත්වනු ලැබුවා. එහි සිටිය අය කිසියම් කලබලයකින් සිටින බවත් මා නිරීක්ෂණය කළා.ඒ සමගම කළු පැහැති නවීන පන්නයේ ප‍්‍රාඩෝ රථයක් ඒ අසලට ඉතා වේගයෙන් පැමිණ නවත්වනු ලැබුවා.

ඉන් බැසගත් තරුණයන් තිදෙනකු එහි සිටි විදේශීය ජාතිකයන් දෙදෙනකු හා කාන්තාවක සමග යම් වාදයක පැටලූනා. මාගේ රාජකාරි ගිනි අවිය සූදානම් කරගෙන මේ දෙස මඳවේලාවක් බලාගෙන සිටියදී ප‍්‍රාඩෝ රථයේ පැමිණි තරුණයන්, ති‍්‍රරෝද රථයේ සිටි විදේශීය කාන්තාවක බලහත්කාරයෙන් එළියට අදින බවක් දුටුවා.

මම වහාම කි‍්‍රයාත්මකවී මා සමග සිටි ග‍්‍රාමාරක්ෂක නිලධාරියාට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස දන්වා ගේට්ටුව අසළට පැමිණ ඔවුන් විසින් සිදුකරන කටයුත්ත වහාම නතර කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිටින් ඉවත් වන ලෙසත් සියලූ දෙනාට දන්වා සිටියා.
ඒ සමගම අපි අහවල් දේශපාලනඥයාගේ සමීපතම යැයි කියමින් එක්වරම මට පහර දෙන්න පටන් ගත්තා. මාව තුන්වරක් මල්පාත්තිය අසල පැති බැම්මේ ගැසුවා. නිලධාරින් පැමිණ මාව බේරා ගැනීමට උත්සාහ කළත් නොහැකිවූ බැවින් රේඩියෝ පණිවිඩ දී අමතර නිලධාරින් ගෙන්වාගෙනයි මා ඔවුන්ගෙන් බේරාගැනීමට හැකිවුණේ.

ඒත් ඔවුනට මාංචු දැමීමටවත් ඔවුන් පැමිණි ප‍්‍රාඩෝ රථයේ යතුර ලබාගැනීමටවත් කිසිවෙකුටවත් හැකිවුණේ නැහැ. මේ තත්ත්වය තුළ මා ඉතාමත්ම පසුබෑමකට ලක්ව සිටිනවා.

විසිහතර වසරක පොලිස් සේවය තුළ මා කළ කී දේ බොහෝයි. මා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් වසර දහයක් සේවය කර තිබෙනවා.
නමුත් මා පහර කෑමට ලක්වීමෙන් පසු මාගේ ඉහළ නිලධාරින් හැසුරුණ ආකාරය සම්බන්ධයෙන් මට දැඩි කලකිරීමක් තිබෙනවා. මා මින් ඉදිරියට පොලිස් රාජකාරියේ යෙදෙන්නේ නැහැ. සනීපවූ පසු විශ‍්‍රාම යාමට තීරණය කර තිබෙනවා.

මා ¥වරුන් තිදෙනකුගේ පියෙක්. අවසන් දුව ඉපදී දැනට මාස එකහමාරක් වෙනවා.

මාගේ භාර්යාවත් පොලිස් නිලධාරිනියක්. මට ඇතිවූ මේ තත්ත්වය මත ඇයටත් දෙපාර්තමේන්තුව තුළ යම් අසාධාරණයක් වේ යැයි මට බියක් ඇතිවී තිබෙනවා.

මා පහරකෑමට ලක්වූයේ රාතී‍්‍ර 9.30ට පමණ. නමුත් මා රෝහල්ගත කිරීමට ඉහළ නිලධාරින් කි‍්‍රයා කළේ 11.53ටයි. එතෙක් මාව මූලස්ථාන පොලිසියේ තියාගෙන සිටියා. දැන් මගේ බෙල්ලේ අමාරුවක් තිබෙනවා. වම් කකුල හිරිවැටී තිබෙනවා යැයිද ඔහු පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ විදේශීය තරුණයන් දෙදෙනා නෝර්වේජියානු ජාතික තරුණයන් දෙදෙනෙකු බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔවුන් සමග පැමිණි තරුණිය රුසියානු සම්භවයක් ඇති උස්බෙකිස්ථානු තරුණියක්  බවටද කරුණු අනාවරණය වී ඇත. ති‍්‍රරෝද රිය පදවා ඇත්තේ විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු විසින් යැයිද කියයි.

රාති‍්‍ර කාලයේ අවන්හලකදී සිදුවූ සිදුවීමක් මෙම සිද්ධියට මූළිකවී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.