එකම දරු පැටියා විකුණා සල්ලි ගැරූ මවක්


 කොච්චිකඬේ - බම්බුකුලිය ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් පුංචි දරු සිඟිත්තෙක් සොයමින් සිටියේ දරුකමට හදාවඩා ගැනීමටය.


විවාහ දිවියට පත්ව වසර තුන හතරක විතර කාලයක් ගතවී තිබුණත් දරු සුරතල් බැලීමට තරම් වාසනාවක් උදාවී නොතිබුණාය.


අඹු-සැමි යුවළ දරුකමට හදාවඩා ගැනීමට පුංචි කිරි කැටියෙක් සෙව්වේ ඒ නිසාය.

 

10-ekama-daru-patiya

අක්කේ, අපේ පැත්තේ ගැහැනු කෙනෙක් ඉන්නවා. ඒ ගැහැනු කෙනාට බබෙක් හම්බ වෙන්නයි ඉන්නේ. බබා ලැබුණට පස්සේ ඒ ළමයාව දරුකමට හදාගන්න දෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඔයා ඇවිත් ඒ ගැහැනුකෙනා හම්බවෙලා මේ ගැන කතාකරගන්න. 


බම්බුකුලියේ කාන්තාව සමග ඇයගේ ඥාති සහෝදරියක් කියා සිටියාය.


කිරිකැටි දරු පැටියකුගේ උණුසුම සොයමින් සිටි ඇයට මේ කතාව අසා ඉහේ මල් පිපුනාසේ දැණුනාය.


නංගි මම හෙටම ඇවිත් ඒ ගැහැනු කෙනාව හම්බවෙන්නම් යැයි ඇය කියා ඇත්තේ ඉහ වහා ගිය සතුටකිනි.


ඇය මේ බව ඇයගේ සැමියාටද කීවාය.


වැඩි කාලයක් යන්නට මත්තෙන් කිරිකැටියකුගේ සුරතල් සිනාහඬින් නිවසට අමුතුම සිරියාවක් ලැබෙන අන්දම ගැනත් දරු සිඟිත්තාව තුරුළුකරගෙන නිදි දෙව් දුව පැමිණෙන තෙක් නැළවිලි ගී කියන ආකාරයත් ඇය මෙනෙහි කළාය. 


බම්බුකුලියේ සිටි ඇය වෙන්නප්පුව ප්‍රදේශයට ගියේ ඒ ගැබිනි කාන්තාව හමුවී මේ ගැන කතාබහ කිරීම සඳහාය.


නෝනා මට මේ ලැබෙන්න ඉන්න දරු පැටියා හදාගන්න අමාරුයි. දරුපැටියා ලැබුණාට පස්සේ කාටහරි හදාගන්න දෙන්න තීරණය කළේ. 


ගැබිනි කාන්තාව අසරණ ලෙස කියා සිටියාය.


අවුරුදු 1 1/2ක පමණ දරුවෙක්ද ඇය ඇකයේ හොවාගෙන සිටියාය.


ඒ දරුවාද ඇයගේය.


ඇයගේ සැමියා මියගොස් සිටින්නේ මීට අවුරුදු 1 1/2කට පමණ කළින් හදිසියේ රෝගාතුර වීමෙනි.


ඔයාට බබා හම්බවෙනකම් යන වියදම් සේරම මම දෙන්නම්. කන්න බොන්නත් දෙන්නම් යැයි ඇය කීවේ උතුරා ගිය සෙනෙහසකිනි. රජයේ රෝහලකදී ඇය ලස්සන හුරුබුහුටි කොලු පැටියෙක් බිහි කළාය.


දරුපැටියා ප්‍රසූත කරනතෙක් බම්බුකුලියේ කාන්තාව නොඉවසිල්ලෙන් බලා සිටියාය.


දරුපැටියාට මාස පහක් හයක් යනකම් ඔයා ළඟම තියාගන්න. එතකොට ඔයාගෙම කිරි පොඩි එකාට බොන්න පුළුවන්නේ. මම එතකම්ම ඔයාගෙයි දරුවාගෙයි හැමදෙයක්ම බලාගන්නම්. දරුවා දරුකමට හදා ගැනීමට ඉල්ලා ගැනීමට සිටින බම්බුකුලියේ කාන්තාව කීවාය.


වැදුමව හිස සලා කැමැත්ත ප්‍රකාශ කළාය.


මාස හයක පමණ කාලයට පසු බම්බුකුලියේ කාන්තාව නීතිඥවරයකු හමුවේ දිවුරුම් ප්‍රකාශයක්ද අත්සන්කර වෙන්නප්පුවේ කාන්තාවගෙන් දරුපැටියා දරුකමට හදා ගැනීමට ඉල්ලා ගත්තාය.


ඒ අධිකරණයෙන් නීත්‍යානුකූලව දරුවා ලබාගන්නා තෙක්ය.


බම්බුකුලියේ කාන්තාව ඒ මොහොතේ රුපියල් 30,000ක මුදලක් දුන්නේ ඇය ගැන සානුකම්පිතව හිතා බලාය.


මෙය කිසිසේත් දරු ජාවාරමකට අදාළව සිදුවූ මුදල් ගනුදෙනුවක් නොවීය.


රෝස පොහොට්ටුවක් බඳුවූ දරු සිඟිත්තා කරුපින්නාගෙන ඇය සැමියාත් සමග නිවසට ගියේ සෑම සැප සම්පතක්ම ලබාදී දරුවා හදාවඩා ගන්නවා යැයි කියන අධිෂ්ඨානයෙනි.


දරුපැටියා ගෙදර ගෙනවිත් ගතව තිබුණේ හරියටම දවස් තුනක තරම් කාලයකි. 


කාන්තාවක් හා පිරිමි අයෙක් බම්බුකුලියේ පිහිටි ඇයගේ නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණියහ.


නෝනා මම මගේ දරුවා ගෙනියන්නයි ආවේ. මට මගේ දරුවා ඕනෑ යැයි වෙන්නප්පුවේ සිට පැමිණි දරුවාගේ සැබෑ මව කීවාය.


ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයා කැමැත්තෙන්නේ මට මේ දරුවා දුන්නේ යැයි කියා බම්බුකුලියේ කාන්තාව කියා සිටියාය.


වැදූ මවගේ මේ කතාව අසා ඇය අන්දමන්දව සිටියාය.


නෝනා ඒ කතාවලින් දැන් වැඩක් නැහැ. අපිට දරුවා ඕනෑ. නැත්නම් වැඩ වරදින්න පුළුවනි.


වැදූ මව සමග ආ පිරිමි පුද්ගලයා කියා ඇත්තේ තර්ජනාත්මක ස්වරූපයෙනි.


බියට පත් කාන්තාව දරු සිඟිත්තා වැදු මවගේ අතට දුන්නේ දෙකොපුල් අතරින් ගලා ගිය කඳුළු අතරින්ය.


ඇය මේ බව සිය සැමියාටද දන්වා කොච්චිකඬේ පොලිසියට ගොස් මුල සිටම සිද්ධ වෙච්ච දේවල් අකුරක් නෑර කියා සිටියාය.


ඇය කී කතාව පොලිස් පොතේ පැමිණිල්ලක් වශයෙන් සටහන් කරගනු ලැබීය. 


මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ විශේෂ උපදෙස් මත කොච්චිකඬේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්.කේ. ගුණසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වෙන්නප්පුව ප්‍රදේශය බලා ගොස් කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආවේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය.


පොලිස් අත්අඩංගුවට ගත් මේ සැකකාර කාන්තාව මාස හයේ මේ දරු පැටියා මේ විදිහටම දරුවන් නැති තවත් කාන්තාවකට දරුකමට හදා වඩා ගන්නට දී රුපියල් දහස් ගණනින් මුදල් ලබාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ.


බම්බුකුලියේ කාන්තාවට මෙන්ම සැකකාර කාන්තාව විවිධ ප්‍රදේශවල ඉන්නා කාන්තාවන් හතර පස් දෙනෙකුටම මේ දරුවා ප්‍රසූත කිරීමට සිටියදී දරුකමට හදාවඩා ගැනීමට දෙනවා යැයි කියා පොරොන්දු වී වරින් වර දහස් ගණනින් මුදල් ලබාගෙන ඇත.


දරුවන් නොමැති කාන්තාවන්ට දරුකමට හදාවඩා ගැනීමට දරු පැටියා ලබාදී මුදල් ද ලබාගෙන දවසකින් දෙකකින් ඒ නිවස සොයාගෙන පිරිමි පුද්ගලයා එක්ක ගොස් තර්ජනය කර දරුවා රැගෙන ඇවිත් තිබෙන බව කියති.


එකම දරුවා කිහිප දෙනෙකුම දරුකමට හදා වඩා ගැනීමට ලබාදී රුපියල් දහස් ගණනකින් මුදල් ගැරීමේ නිරතව සිටි මේ මව අවසානයේ පොලිසියට කොටුවූයේ බම්බුකුලියේ කාන්තාව මේ ගැන නොබියව පොලිසියට පැමිණිලි කළ නිසාය.


බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති නන්ද මුණසිංහ සහ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ විශේෂ උපදෙස් මත මීගමුව සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එන්.කේ. ගුණසේන, පොලිස් සැරයන් කරුණාරත්න (33544) සහ කොස්තාපල් රුවන් (40290) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m

10-ekama-daru-patiya