කොළඹට එන කොල්ලන් සුද්ද කරන රෑ සමනළියෝ


 

පිටකොටුව මධ්‍යම බස් පොළ

 

දියවන්නා ව්‍යායාම මංතීරුව ඔස්සේ ඇවිද ගිය අප රෑ කොළඹ වටා යන ගමනේ ඊළඟට ගියේ පිටකොටුව ප‍්‍රදේශයටයි. දිවා කාලයේ මෙන් නොවුනත් රාත‍්‍රියට ද කොටුවේ විශාල පිරිසක් සිටිති. ඒ රැකියා නිමවී යන අය පමණක් නොව දුර බැහැර සිට ගම්බිම් බලා යන අයද කොළඹට එන බැවිනි. නත්තල් සමය නිසා වෙනදාට වඩා තරමක් රෑ කොළඹ කොටුව ප‍්‍රදේශය කාර්ය බහුලය. වැඩියෙන්ම කාර්ය බහුල වන්නේ කොටුව බස් නැවතුම් පොළයි. පිරිසක් නියමිත බසය එනතුරු බලා සිටිති. තවත් පිරිසක් බස්වලින් බැස වෙනත් බස් සොයා යති. ඒ අතරේ වෙළෙන්දෝ බස්වලට නගිමින් බසිමින් වෙළෙඳාම් කරති.

පොලිසියේ දෙතුන් දෙනෙක්ම ප‍්‍රධාන බස් නැවතුම්පොළේ වූහ.

”අපි මෙහේ නෙමේ. පුත්තලමේ. උත්සව දවස් නිසා අපිට විශේෂ රාජකාරි දාලා තියෙන්නේ. මේ පැත්ත ගැන අපි වැඩි විස්තරයක් දන්නේ නෑ.” යැයි පොලිස් කොස්තාපල්වරයෙක් පැවසීය.

බස් නැවතුම්පොළ අවට කඩ රැසක් රාත‍්‍රියේ ද විවෘතව ඇත. කොටුව බස් නැවතුම්පොළ ආශ‍්‍රිතව විවිධ අපචාර සිදුවන බව ද පිරිසක් කීහ. ”රෑ එක එක ඒවා වෙනවා ඉතින්. නිකන් නවත්වලා තියෙන බස් වලට කපල් එනවා. සමහරු කීයක් හරි අරගෙන එයාලට බස් එක ඇතුළේ  ඕනේ දෙයක් කර ගන්න දෙනවා. කළුවර නිසා පෙන්නේත් නැහැ. අපි නම් එහෙම කරන්නේ නෑ.” යැයි පැවසුවේ බස් කොන්දොස්තරවරයෙකි. රෑ කොළඹ ගැන කතා කරද්දී මෙවැනි කතා රැසක් අසන්නට ලැබිණි. කොළඹ මහ නුවර බසයක කොන්දොස්තරවරයකු තවත් කතාවක් පැවසීය. ”නුවර ඉඳන් ජෝඩුවක් ආවා. කොල්ලට වැඩිය කෙල්ල වැඩිමල් වගේ. අපි වැරදියට මොනවත් හිතුවෙත් නෑ. මෙහෙට ඇවිදින් කොල්ලා විස්තරේ කිව්වාමයි කතාව දන්නේ. ඒ කෙල්ලට අවුරුදු 35ක් විතර ඇති. මහනුවර බස්ටෑන්ඞ් එකේ අපේ බස් ගහන තැන හිටියලූ. කොල්ලා දිගන පැත්තේ රස්සාවක් කරන කෙනෙක්. ගම අම්බලංගොඩ පැත්තේ. අවුරුදු 28ක් විතර ඇති.

අර හිටපු කෙල්ල මේ ළමයා ගාවට ඇවිත් ඇහුවලූ  කොළඹ යන්න නගින්නෙ මෙතනට එන බස් එකටද කියලා. මෙයා මනුස්සකමට ඔව් කිව්වලූ. ඊට පස්සේ කෙල්ල ඇහුවලූ  කොළඹට යද්දි කීය විතර වෙනවද කියලා. මෙයා කියලා එකොළහ විතර වෙයි කියලා. දෙන්න කතාවට වැටිලා. කෙල්ල කිව්වලූ  නුගේගොඩ ඉන්නේ, නෑදෑ කෙනෙක් අසනීප වෙලා එයා බලන්න ආවේ කියලා. ඊට පස්සේ බස් එක ආවම බස් එකට නැගලා මෙයා ළඟින්ම වාඩි වෙලා. ටික දුරක් යද්දි කිව්වලූ  ෆෝන් එක  ඕෆ් වෙලා සිම් එකේ ගෙදර නම්බරේ තියනවා එන්න රෑ වෙනවා හොයන්න එන්න කියලා කියන්න ෆෝන් එන දෙන්න බැරිද කියලා. මේ කොල්ලා මනුස්සකමට එයාගේ සිම් එක ගලවගෙන එයාගේ හොඳ ෆෝන් එක දීලා කෙල්ලට සිම් එක දාගන්න. ටිකක් දුර යද්දි කෙල්ල ඔලූව රිදෙනවා කියලා මේ කොල්ලගේ කරෙන් ඔලූව තියාගෙන. කොල්ලට තේරුනාලූ  කෙල්ල එන පොට හොද නෑ කියලා. ඒත් බස් එකෙන් බහින කම් විතරයිනේ කියලා කෙල්ල එක්ක පෙම්වතුන් විදියට එක එක ඒවා කර කර ඇවිත්. කොළඹට ළං වෙද්දි කොල්ලට කෙල්ලගේ ඇඟට හේත්තු වෙලා නින්ද ගිහින්. බස්ටෑන්ඞ් එකේදි තමයි ඇහැරිලා තියෙන්නේ. කෙල්ල තෑන්ක්ස් කරලා යන්න ගිහිල්ලා. කොල්ල බස් එකෙන් බැහැලා බලද්දි පර්ස් එකයි ෆෝන් එකයි දෙකම නැහැලූ. කෙල්ල ඒ දෙකම අරගෙන පැනලා.  රුපියල් දෙසීයක් දුන්නා ගෙදරට යන්න.”

ඔවුන් පවසන්නේ විවිධ ඉඟිබිඟි පා තරුණයන්ගේ ජංගම දුරකතන සහ මුදල් පසුම්බි සොරා ගන්නා කාන්තාවන් පිරිසක් සිටින බවයි. ඉඳහිට කොළඹ පැමිණෙන වැඩි දෙනෙක් ඔවුනට රැවටෙන බව  ද කියති. ත‍්‍රිරෝද රථ රියදුරන්ටද රෑ කියා වෙසක් නැත. රාත‍්‍රියට ද බොහෝ ත‍්‍රිරෝද රියදුරන්ට අවශ්‍ය තරමට ගමන් වාර ලැබේ. දවල් කාලයේ වෙනත් රැකියාවක් කර රාත‍්‍රියට පමණක් ත‍්‍රිරෝද රථ ගාල් කරගෙන සිටිනා පිරිසක් ද කොටුවේ සිටිති. වීදි ගණිකාවන් සහ ඔවුන් සොයා යන පිරිමින් කාමරවලට ගෙන යෑමට සැදී පැහැදී සිටින ඇතැම් ත‍්‍රිරෝද රථ රියදුරෝ ද කොළඹ සිටිති.

”සමහරු ඉන්නවා කපල්ස් කාමරවලට ගෙනියන එකයි, ගනිකාවෝ ඉන්න තැන දැනගෙන ඒවගේ තැන්වලට කට්ටිය ගෙනියන එකයි කරන්නේ. අපි හයර් දෙක තුනක් දුවලා හොයන ගාන එයාල එහෙම කට්ටිය ගෙනිහින් එක හයර් එකෙන් හොයනවා.” යැයි පැවසුවේ ත‍්‍රිරෝද රියදුරෙකි. එමෙන්ම ත‍්‍රිරෝද රියේ නංවාගෙන අතුරු පාරකට ගොස් ඔවුනට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩ හැර රුපියල් පන් හයසියයක් ගන්නා පිරිස්ද සිටින බව කියති.

රාත‍්‍රියට කොළඹ එන තරුණයන් බිය ගන්වා මුදල් ඩැහැ ගන්නා පිරිස් ද නැතුවාම නොවේ. ගනිකාවන් සම්බන්ධ කරන බව පවසා රැුගෙන ගොස් ඔවුන් බිය ගන්වා මුදල් සහ ජංගම දුරකතන සොරා ගන්නා පිරිස්ද වෙති. කොළඹ ත‍්‍රිරෝද රථ රියදුරකු සිය අත්දැකීමක් විස්තර කරමින් පැවසුවේ ඇතැම් ගනිකාවන් පිරිමින්ගේ මුදල් පසුම්බි සොරා ගෙන පැන යන බවයි.

”දවසක් කෙල්ලෙක් දුවගෙන ඇවිත් ඉක්මනින් මේ පැත්තට යමු කියා පෙන්නුවා. මං කිව්වා වන් වේ නිසා ඒ පැත්තෙන් යන්න බෑ කියලා. එයා කිව්වා සල්ලි දෙන්නම්  ඕන පැත්තකින් ඉක්මනින් යමු කියලා. ඊට පස්සේ පිටිපස්සෙන් කොල්ලෙක් දුවගෙන එනවා දැක්කා. කෙල්ල මගේ ත‍්‍රීවීල් එකෙන් බැහැලා දිව්වා. අර කොල්ලා ඇවිත් ඇහුවා කෙල්ලෙක් මේ පැත්තට දිව්වද කියලා. මං කිව්වා දිව්ව කියලා. ඒත් කෙල්ලව හොයා ගන්න බැරි වුණා.

ඒ ළමයා හමුදාවේ කෙනෙක්. නිවාඩුවට ගමේ යන්න එන ගමන්. බස්ටෑන්ඞ් එකේදි කෙල්ල හම්බවෙලා එයා එක්ක රූම් එකකට ගිහින්. කොල්ලා නාන කාමරයට ගිහින් එන ටිකට පර්ස් එක අරගෙන පැනලා. පඩි සල්ලිත් ඒකේ තිබිලා තියෙන්නේ. ආරක්ෂක අංශයට සම්බන්ධ ගොඩක් අය මේ හොරුන්ට අහුවෙනවා. එයාලා ගොඩ කාලයක් වැඩ කරලා ගෙදර එද්දි කවුරු හරි කෙල්ලෙක් කතා බහ කළාම රැවටිලා යනවා. අන්තිමට අතේ තිබ්බ තුට්ටු දෙකත් නෑ.” ඔහු කීවේය.

රෑ විවෘත කර තිබූ පළතුරු කඩයකට ද අපි ගියෙමු. පළතුරු වර්ග රැුසක් එහි තිබිණි. ”අපි රෑ එළිවෙනකම්ම කඬේ ඇරලා. දුර යන අය පළතුරු ගන්නවා. දවල්ටත් ඇරලා. අපි එක දිගට ඉන්නේ නෑ. දවල්ට වෙන දෙන්නෙක් කඬේ ඉන්නවා. මේ දවස්වල බිස්නස් ටිකක් අඩුයි.  යැයි වෙළෙඳසල් හිමියා පැවසීය. පාරවල් අයිනේ නිදා සිටින දෙතුන් දෙනෙක් ද කොළඹ බස් නැවතුම අවට සහ අතුරු පාරවල් කිහිපයක සිටියහ. බොහෝ කඩවලට ලොරිවලින් ගෙන ආ බඩු බාමින් තිබුණු අතර තවත් කඩවලින් බඩු පටවමින් තිබිණි. නාට්ටාමිලා ද දිවා කාලයේ මෙන් වැඩය.

 

 
රෑ වෙළෙඳ පොළක්
 
   
 
රෑ පානේ ඇවිදිමින්...
 
   
 
මහ පාරේ නිදි
 
   
 
තැබෑරුමක් ඉදිරිපිට
 
   
 
මහ පාරේ නිදියන මිනිස්සු