මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටින වල් ඌරන්, මුවන් සහ ගෝනුන් මරා මස් කර විකුණන ජාවාරමක සුලමුල මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ සිටින සිවිල් ආරක්ෂක නිලධාරියකු මීට පෙර මුවන්, ගෝනුන් සහ වල් ඌරන් මරා තැරැව්කාරයන් හරහා විකුණන වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. එහි උණුසුම යන්නටත් මත්තෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේදී දඩයම් කර මස් කළ ඌරු මස් හා ගෝන මස් තොගයක් ප්‍රවාහනය කරන බවට වනජීවී නිලධාරින්ට ඔත්තුවක් ලැබෙන්නේ ඔක්තෝබර් 10 වැනිදාය.
ප්‍රවාහනය කරමින් තිබූ මස් තොගය වැටලීමට එම ඔත්තුවට අනුව වනජීවී නිලධාරින් එම ස්ථානයට ගොස් තිබුණි. එහෙත් එම නිලධාරීන්ගේ අණ නොතකා ඔවුන්ද අනතුරට පත් කිරීමට උත්සහ දරමින් මස් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථය පලා ගොස් තිබුණි. එසේ පලා යන අතරේදී දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තිබුණි. එම වාහනයේ මස් ප්‍රවාහනයේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු සිට ඇති අතර ඉන් එක් අයකු පලා ගොස් තිබුණි. එලෙස පලා ගිය සැකකරු ගැන තොරතුරු සෙවීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව සේවය කරන සාජන්වරයකු බවය.
අදාළ සැකකරු සාජන්වරයා සහ සිවිල් ආරක්ෂක නිලධාරියා එක්ව දීර්ඝ කාලයක සිට වනසතුන් දඩයම් කර මස් පිණිස විකිණීමේ ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. කෙසේ හෝ ඔක්තෝබර් 10 වැනිදා වෑන් රථයකින් ගෝන මස් කිලෝ 47 ක් සහ වල් ඌරු මස් කිලෝ 17 ක් ප්‍රවාහනය කරමින් තිබෙන බවට ලැබුණු ඔත්තුව අනුව මෙම වැටලීම කර තිබුණි. හෙනානිගල ආදිවාසී ගම්මානයේ කාලයක සිට මුවන්, ගෝනුන් සහ වල් ඌරන් මරා කරගෙන ගිය දඩමස් ජාවාරමේ සුලමුල ඒ අනුව අනාවරණය විය. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරිමේදී අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිස් සැරයන්වරයාගේ වුවමනාව මත මෙම දඩ මස් ප්‍රවාහනය කළ බවය.
මෙලෙස මස් ප්‍රවාහනය කර ඇත්තේ කොළ පාටට හුරු වෑන් රථයකින් බව වනජීවිය මේ ගැන අධිකරණයට ඉදිරිපත් කර ඇති අංක B 638/24 වාර්තාවෙන් පෙන්වා දී ඇත. එම වෑන් රථය පලා යාමේදී වනජීවී නිලධාරීන් විසින් ඒ පසුපස පැන්නූ බවත් වාහනයට ඉස්සර කර හරස් කරන අවස්ථාවේ සඳුන්පුර ප්‍රදේශයේදී වනජීවී කැබ් රථයේ බෆර් කොටසේ වද්දා පලා ගිය බවද “බී” වාර්තාවේ සඳහන් වෙයි. පසුව පලා ගිය රථය මුවගම්මන කහ පාලම ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇත. වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතට අනුව අධි ආරක්ෂිත ක්ෂීරපායි සතකු වන ගෝනකුගේ මස් කිලෝ හතළිස් හතක් සහ වල් ඌරු මස් කිලෝ 17 ක් එම වෑන් රථයේ තිබී ඇති බව “බී” වාර්තාව මගින් පෙන්වා දෙයි. කෙසේ හෝ මෙම සිදුවීමෙන් පසු සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇපමත නිදහස්කොට ඇත.
අප මේ කියන කතාවේ පසුබිම වෙනස් වන්නේ ඉන් පසුවය. ඊට හේතු වී තිබෙන්නේ දෙහිඅත්තකණ්ඩියේ පොලිසියේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන නව මැදගම හෙනානිගල උද්‍යාන පිවිසුමේ වනසත්ව අඩවි ආරක්ෂක මෙන්ම වනසත්ව අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් නැගෙනහිර පළාතේ වනජීවී සහකාර අධ්යක්ෂ වෙත යවන ලිපිය නිසාය. මාගේ අංක වජි/හෙපි/out/686/2024 අංකයෙන් යවන ලද ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙවැන්නකි. ඔක්තෝබර් 10 දින මස් දඩයමේ ගිය පොලිස් සැරයන්ට විරුද්ධව වනජීවිය නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වනජීවියට කරන කෙණෙහිලිකම් ගැනය.
වනජීවිය සතුව ඇති වාහනවල ආදායම් බලපත්‍ර ලබා දෙන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය මගිනි. එලෙස ආදායම් බලපත්‍රය ලබා දීමේදී නියමිත දිනට රජයේ වාහන සඳහා ආදායම් බලපත්‍ර ලැබෙන්නේ නැත. එක්කෝ මාසයක් දෙකක් පමා වෙයි. සාමාන්‍ය පෞද්ගලික වාහනයක ආදායම් බලපත්‍ර කල් ඉකුත් වී ධාවනය කිරීම නීතියෙන් වරදකි. එහෙත් රජයේ වාහනවලට එම නීතිය බලපාන්නේ නැත. ඒ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ඊට අදාළ ක්‍රමවේද වඩාත් ඉක්මනින් ඉටු නොකිරීම හේතුවෙනි. මේ නිසා ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රජයේ වාහනවල ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමක් කරනුයේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණය.
එහෙත් හෙනානිගල ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ට මේ දිනවල සිය රජයේ වාහන සඳහා ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ හැකියාව ඇහිරී ඇත. ඊට හේතු වී ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දින දෙහිඅත්තකණ්ඩියේ ගෝන මස් දඩයමේ ගිය සාජන්වරයාට එරෙහිව වනජීවී නිලධාරීන් ක්‍රියා කිරීම නිසා බව වනජීවියේ චෝදනාවයි.” ආදායම් බලපත්‍ර නොමැතිව වාහනයක් ධාවනය කරන්න බෑ. ඒක ඇත්ත. නීතිය අනුව ඒක වැරදියි. එහෙත් වනජීවී වාහන කියන්නේ රජයේ වාහනයක්. ඒ වාහනවලට ආදායම් බලපත්‍ර ලබා දෙන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන්. ඒ බලපත්‍ර එනකොට ටික කලක් ගත වෙනවා. එහෙත් ආදායම් බලපත්‍ර නෑ කියලා අපට කැලෑ කපන එක වටලන්න යන්න, සත්තු දඩයම් කරන එක නතර කරන්න බෑ. අපි ඒවාට යන්න ඕන. එහෙත් ආදායම් බලපත්‍ර බල බල ඒ වැඩේ නතර කරන්න බෑ. ඒ නිසා ගොඩක් රජයේ වාහනවල ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමක් වෙන්නේ බොහොම අඩුවෙන්” යැයි වනසත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා ද පෙන්වා දෙයි.
එසේම ආදායම් බලපත්‍ර නොමැතිව 2024-10-29 දින මාවනවෙල වන අලි පාලන ඒකකයේ වන සත්ව නියාමකවරයා සිය රාජකාරි යතුරුපැදියෙන් රාජකාරියේ යෙදී සිටියදී අංක BJB 7606 යන යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය නොමැතිව ධාවනය කළා යැයි දෙහිඅත්තකණ්ඩියේ පොලිසියේ රථවාහන නිලධාරීන් දඩ කොළ ලබා දී ඇත. තවද 2024-10-31 දින නවමැදගම වනජීවී කාර්යාලයේ ස්වෙච්ඡා මාර්ගෝපදේශකවරයා ගමන් ගත් වාහනයට දඩ කොළයක් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ලබා දී ඇත. එලෙස දඩ කොළ ලබා දීමේදී දෙහිඅත්තකණ්ඩිය රථවාහන අංශයේ නිලධාරීන් පවසා ඇත්තේ වනජීවී නාමය ගෑවුණු අයකුට කිසිදු සමාවක් නොදෙන ලෙසට දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී බවය. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කාර්යාලයේ නිලධාරීන් සමඟ දැඩි කේන්තියෙන් පසුවෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූ බව හෙනානිගල වනසත්ව අඩවි ආරක්ෂක නැගෙනහිර පළාත් වනජීවී සහකාර අධ්යක්ෂ වෙත යැවූ ලිපියේ සඳහන් වෙයි.
මෙලෙස දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවී නිලධාරීන්ට බලපෑම් එල්ල වීමට හේතු වී ඇත්තේ ගෝන දඩයමේ ගිය සැරයන්වරයාට නීතිය ක්‍රියාත්මක කළ නිසා බව යැයි වනසත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ද පෙන්වා දෙයි. එම ගෝන මස් සහ වල් ඌරු මස් තොගය ඇල්ලූ පසු සාමදාන කර සැරයන්වරයා මුදා හැරීමට කටයුතු නොකිරීම නිසා මේ ආකාරයට වනජීවියට අයත් වාහන සඳහා දඩ කොළ නිකුත් කිරීමට පටන්ගෙන ඇති බවද කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් හෙනානිගල වනජීවී කාර්යාලයට අයත් සහ මාදුරුඔය ජාතික වනෝද්‍යාන කලාපයේ වනජීවී නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බව කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ආදායම් බලපත්‍ර නිකුත් නොකළ ට්‍රැක්ටරයක් සහ යතුරුපැදි ධාවනය කිරීමට නොහැකි වී තිබේ. එහෙයින් දඩයමේ යන පුද්ගලයන් අල්ලා නීතිය ක්‍රියාත්මක වීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බව ද කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි.
වල් ඌරු මස් කිලෝ 17 ක් සහ ගෝන මස් කිලෝ 47ක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් සැරයන් ඇතුළු පිරිස සාමදාන කර නිදහස් නොකිරීම හේතු කොටගෙන පොලිසියෙන් එල්ල වන බලපෑම් නවතන ලෙස කුමාරසිරි විජේකෝන් මහතා ඉහළ බලධාරීන්ගෙන්ද ඉල්ලා සිටියි. වනජීවී නිලධාරීන් කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පිරිස් අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සැරයන්වරයාට නීතිය ක්‍රියාත්මක නොකර ආයතනික ප්‍රශ්නයක් සේ සලකා එය නොසලකා හැරිය යුතු බව පොලිසියේ මතය බව කුමාරසිරි විජේකෝන් පෙන්වා දෙයි. පොලිස් නිලධාරියකු රක්ෂිතයකට ඇතුළු වන සතුන් දඩයම් කිරීම ආයතනික ප්‍රශ්නයක් සේ සලකා එය නොසලකා හැරිය නොහැකිය. වනජීවී ආඥා පනතේ 66:1 වගන්තියෙන් පෙන්වා දෙන්නේ වනසතුන් දඩයම් කිරීම ප්‍රවාහනය කිරීමට එරෙහිව පොලිස් නිලධාරීන්ටද නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවය. එම නීතිය ක්‍රියාත්මක නොකිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.
එලෙස නීතිය වනජීවී ආඥා පනත යටතේ පෙන්වා දී තිබියදී පොලිස් නිලධාරීන් සතුන් දඩයම් කිරීම අනුමත කළ නොහැකිය. ලංකාවේ ඇති විශාලතම සහ දුර්ලභ සතුන් ජීවත් වෙන ජාතික වනෝද්‍යානය මාදුරුඔයයි. එවැනි රක්ෂිතයකින් සතුන් මරා ප්‍රවාහනය කිරීම ආයතනික වශයෙන් නොසලකා හැරිය යුතු ක්‍රියාවක්ද යන්න බලධාරීන් සොයා බැලිය යුතු කරුණකි. නීතිය රකින අයම නීතිය කඩනවා නම් නීතිය රැකීමක් සිදුවෙන්නේ නැත. එවිට ඉන් ප්‍රයෝජනය ගන්නේ දඩයමේ යන උදවියයි. දෙහිඅත්තකණ්ඩියේ පොලිසිය වනජීවියට මේ ආකාරයට දඩ කොළ ලියා කරන බලපෑම මත මේ නඩුවේ සාක්ෂිකරුවන්ද යම් ආකාරයක තැතිගැන්මකට ලක් වී ඇති බව කුමාරසිරි විජේකෝන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් සාක්ෂිකරුවා සහ වින්දිතයා ආරක්ෂා කිරීම වනජීවී නිලධාරීන්ටද දැන් ගැටලුවක් වී තිබෙන බව කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි. පොලිස් දෙපාර්තමේන්තුව සහ වනජීවිය යනු අෙන්‍යාන්‍ය සහජීවනයෙන් වැඩ කරන ආයතන දෙකකි. වනජීවී නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව, අවි හරඹ ඉගැන්වීම් කටයුතු සිදු කරනුයේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේය. එසේම වැටලීම්වලදී පොලිසියේ සහය ද නිරන්තරයෙන් වනජීවියට ලැබෙන මොහොතක ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා මේ සහජීවනයට බලපෑමක් ඇතිවන බව ද කුමාරසිරි විජේකෝන් පෙන්වා දෙයි.
මේ අතර වනජීවියට ලැබුණු ඔත්තුවකට අනුව දෙහිඅත්තකණ්ඩිය නගරයේ හෝටල් දෙකක කළ වැටලීමකදී ගෝන මස්, වල් ඌරු මස් මෙන්ම මුව මස් ද හමුවී තිබුණි. එසේම පසුගිය කාලයේ දඩයමේ ගොස් සතුන් මරා මස් කර විකිණූ වැලිකන්ද ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයකු ගැන ද වාර්තා වුණි. මේ දඩමස් ජාවාරම ජාලගත ආකාරයෙන් මේ සියලු දෙනා එක්ව කරන බවට සොයා බලන විමර්ශනයක්ද වනජීවියෙන් ආරම්භ කර ඇත.
ඒ අනුව දඩමස් ජාවාරමට සම්බන්ධ ඇතැම් පිරිස් වනජීවී නිලධාරීන්ට බලපෑම් කරන ආකාරය ද පසුගිය කාලයේ වාර්තා වුණි. එසේ නම් පොලිසියේ නම ද අවභාවිත කරමින් මෙලෙස වනජීවී නිලධාරීන්ට බලපෑම් කරන්නේ දඩ මස් ජාවාරමේ නිරත පිරිස් ද කියා දන්නේ නැත. එනිසා මේ ගැන සොයා වනජීවී නිලධාරීන්ගේ රාජකාරිය නිසි ලෙස කිරීමට අවස්ථාව උදාකර දීම වැඩබලන පොලිස්පතිවරයාගේ ද යුතුකමකි. නැතහොත් සිදුවෙන්නේ ජාතික වානෝද්යානවල සිටින සතුන් මරා මස් කර ජාවාරම ජයටම සිදු කිරීමක් පමණි.
- දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති
වනජීවියේ වාහන අල්ලා දඩ කොළ ලියන්නේ ගෝන දඩයමේ ගිය සැරයන්ට නීතිය ක්‍රියාත්මක කළ නිසාද කියා එල්ල වන චෝදනාව ගැන දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ මූලික පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතාගෙන්ද විමසා සිටියෙමු. එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙවැන්නකි. කිසිම අයුරකින් වනජීවී නිලධාරීන්ට බලපෑම් කරලා නෑ. වාහනවල ආදායම් බලපත්‍ර නැත්නම් ලියන එක නීතියට අනුව කරලා ඇත්තේ. එහෙම ලියන්න වාහන ඒ අයට නෑ. එක වාහනයයි තියෙන්නේ. එහෙම රජයේ වාහන ලියන්නේ නෑ. වනජීවී එක කියන චෝදනාව වැරදියි. යතුරුපැදි දෙකක් ලියලා තිබුණා ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතිකය නැති නිසා. ඒ හැරෙන්න කිසිදු බලපෑමක් අපි වනජීවී නිලධාරීන්ට කරලා නෑ. වනජීවී එකේ වැටලීම්වලට අපේ සහය උපරිමයෙන් ලබා දෙනවා. එකට වැඩ කරනවා. එහෙම වැඩ
කරද්දි එයාලා මොකක් හරි වෙන හේතුවක් තියාගෙන පොලිසියට චෝදනා කරන්නේ යැයි ස්ථානාධිපතිවරයා කීය.
වනජීවී දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාතේ සහකාර අධ්යක්ෂ ප්‍රේමරත්න විමලදාස මහතාගෙන්ද මේ ගැන විමසූ විට පැවසුවේ මෙවැන්නකි.
- නැගෙනහිර පළාත් සහකාර වනජීවි අෂ්යක්ෂ
වනජීවි එකේ වාහන ආදායම් බලපත්‍ර නැතිව රක්ෂණ සහතික නැතුව අල්ලන බවට අපේ නිලධාරින් දැනුවත් කළා.මේ ගැන වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා.පොලිසියෙන් ලියන්නේ අපේ වරදක් තියෙන නිසයි.අපි අධ්යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කර කියා සිටියේ නැගෙනහිර පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයව සහ ෙජෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කොට අදාළ ස්ථානාධිපතිවරයාව දැනුවත් කරන ලෙසයි.සමහරවිට ස්ථානාධිපතිවරයා එහෙම බලපෑමක් කළා වෙන්න පුළුවන්. මේ සම්බන්ධව පොලිසියෙන් වෙනම පරීක්ෂණයක් සිදුකරනවා.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය එහෙම දෙයක් කළා නම් ඒ අයගේ ප්රාථමිකත්වය ඒකෙන් පේනවා.අපට ඔත්තුවක් තිබුණා සතුන් දඩයම් කළ අය දිගටම මේ වැඩේ කරනවා කියලා.මේ ආකාරයට කුමන ප්‍රදේශයේ සතුන් දඩයමක් කර කෙනෙක් ඇල්ලුවා.එයා පොතුවිල් ප්‍රදේශයේ ආරක්ෂක අංශයක අණදෙන නිලධාරිවරයෙක්.එයාගේ වැඩ තහනම් වුණා. සිවිල් ආරක්ෂක අය ගුවන් හමුදාවේ අය හසු වුණා.අපේ නිලධාරින්ට නොයෙක් කරදර කළා.වනජීවි පනතේ විධි විධානවලට අනුව නීතිය අපි කරනවා.වැරදි කරන අයට නීතියෙන්
දඩුවම් කරනවා යැයි ද නැගෙනහිර පළාත් සහාකාර අධ්යක්ෂවරයා කීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් මේ ගැන විමසීමකදී පැවසුවේ මෙවැන්නකි.
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීභු නිහාල් තල්දූව
වනජීවියට නෙමෙයි කිසිම කෙනෙකුට ආදායම් බලපත්‍ර නැතිව වාහනයක් පාරට දාන්න බෑ.ඒ වගේම යතුරු පැදි දෙකක් ආදායම් බලපත්‍ර නැතිව ලියලා තියෙනවා. මේ යතුරු පැදි පැදලා තියෙන්නේ සිවිල් ආරක්ෂක අය.ඒ අයට වනජිවි නිලධාරින්ට ලබා දෙන යතුරු පැදි පදින්න බෑ.මේ සිදුවීම ගැන පොලිස් පරීක්ෂණයක් තියන්න තරම් දෙයක් වෙලා නෑ.මොකද වනජීවි නිලධාරින් සිය යතුරු පැදි පැදලා
තියෙන්නේ ආදායම් බලපත්‍ර නැතිව යැයි නිහාල් තල්දූව මහතා කීය.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
ජායාරූප - සමන්ත පෙරේරා