(රෝෂන් තුෂාර)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් හිමි වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිටපු හිමි හෙට දිනයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආගමකට (ඉස්ලාම් දහමට) අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව මාස නමයක සිර දඬුවමක් නියම කළ නඩුවට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය පරිදි මෙසේ ඉදිරිපත් කිරීමට නියමිත වේ.

නියම කළ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කළ නියෝගයක් පරිදි අද (07) ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණය නොතිසි නිකුත් කර තිබිණි.

2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ." යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව 2025 ජනවාරි 09 වන දින මහේස්ත්‍රාත් අධිකරණය මෙම දඬුවම ඥානසාර හිමියන්ට නියම කළේය.