ජල ප‍්‍රශ්නයට හේතුව නියඟය නොවෙයි


නැගෙනහිර ඇතුළු පළාත් සභා ඡන්ද තුනේ උණුසුම හා එජාප ඡන්ද සටනේ ප‍්‍රගතිය මෙන්ම නැගෙනහිර දේශපාලනයේ සංකීර්ණත්වය ගැන එජාප ජාතික සංවිධායක දයා ගමගේ කරන විග‍්‍රහයයි මේ.
  • ප‍්‍රශ්නය:- නැගෙනහිර පළාත මෙරට ජාතික අර්බුදයේ සුවිශේෂ ස්ථානයක්. 94ට පෙර එජාපය නැගෙනහිර ත‍්‍රස්තවාදයෙන් මුදවා ඡන්දත් තිබ්බා. චන්ද්‍රිකා යුගයේදී යාපනය බේරාගත්තා. ඉතිරි ප‍්‍රදේශවලින් මේ ආණ්ඩුව ත‍්‍රස්තවාදය අතුගා දැම්මා. මේ රටේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම හා ඊට අදාළ නැගෙනහිර පළාතේ තීරණාත්මක බව ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද?
පිළිතුර:- නැගෙනහිර පළාතේ දශක කීපයක් ජීවත්වූ දහස් ගණනකට රැකියා සැපයූ ව්‍යාපාර කරන කෙනෙක් ලෙසයි මම කතා කරන්නේ. 94 වෙනකොට එජාපය නැගෙනහිර ත‍්‍රස්තවාදය අතුගාලා ඡන්දත් තිබ්බා. 94 ආපු චන්ද්‍රිකා මුලින් සාමයටත් පසුව යුද්ධයටත් ගියා. 2001 වෙනකොට මේ රටෙ ත‍්‍රස්තවාදයෙන් බැට කෑවා. ආර්ථිකය කඩා වැටිල මුල්වරට සෘණ 1.6% බංකොලොත් රටක් බිහිවුණා. ජනතාව අනාථවේගෙන එන කොට රට ගැන හැඟීමක් තිබුණු එස්.බී., ලක්ෂ්මන් කිරිඇල්ල වගේ පිරිසක් ඒ ආණ්ඩුව පෙරළලා රට බේරාගෙන එජාප ආණ්ඩුවක් පිහිටවලා 07%ක වර්ධනයක් ලබලා රට බේරාගත්තා. ඊට කලින් මූල්‍ය අරමුදලෙන් චන්ද්‍රිකා හා මහින්ද රාජපක්ෂලා දරුණු කොන්දේසිවලට යටවෙලා ඩොලර් දශ ලක්ෂ 500ක් ණයගත්තෙත් බංකොලොත්කමෙන් මිදෙන්නයි. ඒත් හරි ගියේ නැහැ. 2001 එජාප ආණ්ඩුව බිහිවෙන්නත් කලින් චන්ද්‍රිකා හා මහින්ද ආණ්ඩුව තමයි නෝර්වේ ලංකාවට ගෙනාවේ. එජාපය කළේ ඒක ඉදිරියට ගෙනයාමයි. චන්ද්‍රිකා ප‍්‍රභාකරන් එක්ක ගහන්න හිටපු ගිවිසුම අපේ නායකතුමා අත්සන් කළේ ඒ තුළයි. ඒ ගිවිසුම හරහා ප‍්‍රභාගෙ විශාලම ශක්තිය වූ සන්නද්ධ නායක කරුණා හා පිල්ලෙයාන් කඩලා ගැනීමෙන් ප‍්‍රභා නන්නත්තාර වුණා. රනිල් අගමැතිතුමා උතුරු නැගෙනහිර හා ලංකාව හදන සැලසුම් ලෝකයට ඉදිරිපත් කළාම ඩොලර් දශ ලක්ෂ 4200ක් එනම් රු. කෝටි 65,000ක දැවැන්ත මුදලක් ලංකාවට දෙන්න සූදානම් වුණා. ඒ මුදල්වලින් ලොකු ප‍්‍රතිශතයක් තනිකරම ප‍්‍රදානයක් ලෙසයි ලැබුණේ. අනිත්වා අද වගේ 7-8% ගිනි පොලියට නොව දශම ගණනක සුළු පොලියටයි දෙන්න සූදානම් වුණේ. රටට ආර්ථික ලෙස නැගිටින්න හා යුද්ධයෙන් තොරව ප‍්‍රභාකරන් බිමටම දාන්න හදනකොට බල කෑදරකම නිසා චන්ද්‍රිකා - මහින්ද එකතුවෙලා එජාප ආණ්ඩුව 2004දී පෙරළුවා. පෙරළුවේ බිමටම වැටිල හිටපු කොටි එක්ක එකඟතාවකට ඇවිත්.  
  • ප‍්‍රශ්නය:- චන්ද්‍රිකා-මහින්ද ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය කොටි සමග පැමිණි එකඟතාවට අදාළ විස්තර හා පසුබිම කුමක්ද?
පිළිතුර:- 2005 ජනපතිවරණයේදියි සන්ධානය හා කොටි අතර එකඟතාව ක‍්‍රියාවට නැංවුණේ. ඇමැති ජෙයරාජ් පාර්ලිමේන්තුවේදී පිළිගත්තා කොටින්ට අත්තිකාරම් මුදලක් දුන්නා කියලා. ශ්‍රීපති සුරියආරච්චි මංගල ආදීන් මීට මැදිහත් වූ බව තහවුරු වුණා. කොටි නායකයා දැනගත්තා රනිල් දිනුවොත් ඊළාම් සටන ඉවරයි උතුරු නැගෙනහිර ඇතුළු රටම දියුණු වෙනවා කියලා. ඒ නිසා සන්ධානයෙන් මුදල් අරන් ලක්ෂ 06ක දෙමළ ඡුන්ද පාවිච්චිය නැවැත්තුවා. ඒක නොවුණා නම් දෙමළ ඡන්දවලින් 80%ක් විතර එජාපයට ලැබෙන නිසා ඒ ජනපතිවරණය දිනන්නේ එජාප නායකතුමායි. ඉන්පසුව රාජපක්ෂ ආණ්ඩුව යුද්ධ කළා. එජාපය හදපු රටේ ආර්ථිකය හා අපි ඇමෙරිකාවෙන් ගෙනා යුද නැව් හා සියලූ පක්ෂවලට අයත් රණවිරුවන් ෆොන්සේකා මහතාගේ සැලසුමට යුද්ධ කරලයි දිනුවේ. රාජපක්ෂලා ප‍්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහලා ඡන්ද දිනුවට රනිල් මැතිතුමා ඒ වගේ ද්‍රෝහි වැඩ කරල නෑ. එජාපය යනු සියලූ ජාතීන් නියෝජනය කරන පක්ෂයක්. ඉන්දියාවට නිදහස දෙන කොට පන්ජාබ් අය කිව්වේ අපට වෙනම රටක්  ඕන බවයි. බි‍්‍රතාන්‍යය, පාකිස්තානය කඩලා ඉන්දියාව හා පාකිස්තානය යනුවෙන් රටවල් දෙකක් බිහිකළා. ඞී.ඇස්. මැතිතුමා හා එජාපය ලංකාවේ සියලූ ජාතීන් සමගිව එකට ගොනු කරගෙන ඒ වෙලාවේ හිටපු නිසා තනි ලංකාවට නිදහස ලැබුණා. ඒ සමගිය එජාපය ඇති කරන්නේ නැතුව හිටියා නම් උතුරු-නැගෙනහිර කඩලා වෙනම රටක් ලෙස දීමට ඉල්ලීම් ඉදිරිපත් වෙන්න තිබුණා. එහෙම නොවී තනි රටක් ලෙස ලංකාව බේරගත්තේ එජාපයයි. මේ පක්ෂය රටට හිතෛෂී වුණේ ඒ විදියටයි. ඒත් වත්මන් පාලකයන් 2005 ජනපතිවරණය දිනුවේ කොටි එක්ක ගිවිසුම් ගහලයි.  
  • ප‍්‍රශ්නය:- ඒත් ඔබ කියන ඔය ගිවිසුමෙන් රටට සිදුවූ අවාසිය කුමක්ද? ප‍්‍රභා හා කොටි මරලා රට නිදහස් කරගෙන සාමය ඇති කළේ නැද්ද?
පිළිතුර:- මාවිල්ආරුව කොටි හරස් කළේ ගිවිසුම අනුව ඉතිරි මුදල් ලබාදීම මේ පාලකයන් පමාකළ නිසයි. එදා සිට මේ රටේ හිටපු පාලකයන් කළේ ජාතීන් එකතු කිරීමයි. ඒත් අද සිදුවන්නේ ජාතීන් තව තවත් දුරස් කරලා ත‍්‍රස්තවාදයටත් එහා ගිය ව්‍යසනයක් ඇතිකරන්නයි. දැන් දෙමළ සන්ධානය හා ආණ්ඩුවේ අතරමැදියකු ලෙස ක‍්‍රියාකරන්න දකුණු අප‍්‍රිකාව මේ ආණ්ඩුව විසින් තෝරාගෙන තිබෙනවා. රටවල් 02ක් අතර සාකච්ඡුා කරන්නයි වෙනත් රටක් තෝරා ගන්නේ. යුද්ධ කරලා රු. කෝටි ලක්ෂ ගණනක් ජීවිත දහස් ගණනක් දේපළ රු. කෝටි ගණනක් විනාශ කරලා අන්තිමට මේ ආණ්ඩුව කරන්න යනදේ දිවිදුන් රණවිරුවන්ට කරන නිගරුවක්. දැන් රට බෙදිලා නිසාද අතරමැදි රටක් සාකච්ඡාවලට තෝරා ගත්තේ. අනික නෝර්වේ හා දකුණු අප‍්‍රිකාව එකට ඉන්නා මිත‍්‍රයන් නොවෙයිද කියලත් අපි අහනවා. ඉන්දියාව ඇතුළු ලෝකයම ඇමෙරිකාව උදව් කරලා ජයගත් යුද්ධය පාවා දෙන්නද ආණ්ඩුව හදන්නේ? එජාපයට එදා කොටි ලේබල් අළවලා අද මේ ආණ්ඩුව කරන්නේ මොනවාද? අරන්තලාවේ භික්ෂුන් කෑලි කපපු ගෝනගල ගමම කපපු අයයි අද මේ පළාත් සභාවේ බලය ඉල්ලන්නේ. ඒ සමහරු අද මධ්‍යම ආණ්ඩුවෙත් ඇමැතිවරුයි. ඒත් යුද්ධය නිම කළ ෆොන්සේකා හිර කළා. ඔහු අතපය බැඳලා එළියට දැම්මේ. යුද්ධයක් නිමාවූ හැම රටකම ජනතාවට සහන ලැබුණා. රට දියුණු වුණා. ඒත් ලංකාවේ ඒ පසුබිම නැහැ. ජනතාවට සහන නොදෙන ආණ්ඩුව මේ රට ණය අරන් විකුණන තැනට ගෙනැත්. 94දී චන්ද‍්‍රිකාට අපි රට බාරදෙන කොට 1948 සිට ලංකාව ගත්ත ණය තිබුණෙ රු. බිලියන 540යි. මහවැලිය හා යෝධ ව්‍යාපෘති රැසක් සඳහා ගත් ණයත් ඊට ඇතුළත්. 94 සිට 2005 දක්වා චන්ද්‍රිකා රු. බිලියන 1650ක් ණය අරන් තිබුණා. 2005 සිට මේ දක්වා රාජපක්ෂ පාලනය රු. බිලියන 5350ක් ණය අරන් බිලියන 7500ක ණය බරක් ජනතාව පිට පටවා තිබෙනවා. අද ණය ගෙවන්න ණය ගන්නා රටක් බවට මේ රට පත්කර තියෙන්නෙ ඒ තුළයි. අද අපිට ගෙවන්න තිබෙන ණය බර රටේ ආදායමටත් වඩා වැඩියි. ආශ්චර්යේ තරම ජනතාව තේරුම් ගන්න  ඕනෑ. අද ජනතාවට කිසිම සහනයක් මේ ආණ්ඩුව නොදෙන්නේ ඒකයි. මේ ආණ්ඩුව තිබුණොත් දිගටම ජනතාවට ලැබෙන්නේ මේ පීඩනය විතරයි. උතුරු නැගෙනහිර හා දෙමළ ජනතාව පෙන්නලා ඔවුන් විකුණලයි ආණ්ඩුව දැන් ණය ගන්නේ. එජාප කාලෙ ගත්ත සොච්චම් ණයෙන් මහවැලි ජලාශ 05ක් හැදුවා. අදටත් විදුලිය හා කුඹුරුවලට ජලය ලැබෙන්නේ ඒ තුළිනුයි. ඒත් මේ ආණ්ඩුව ණය අරන් නොරොච්චෝලේ හැදුවා. හැමදාම කැඩිලා. හම්බන්තොට හා ඔලූවිල් වරායවල් හැදුවා. නැව් එන්නේ නෑ. නැව් ආවත් ලංකාවෙන් පටවන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව යටතේ නිෂ්පාදනය කරන දෙයක්. තියෙනවද? 37%ක අපනයනයක් එජාප කාලේ තිබුණත් අද ඒක 17%ට බැහැලා. මේ ආණ්ඩුව වැඩ කරන්නේ රටේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව නොවෙයි. තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන හිතලයි. කොමිස් ලැබෙනවා නම් නුවරඑළියෙත් වරායක් හදල කියාවි අහසින් එන නැව් ලෝකයෙ හදන නිසා ඒ නැව් බස්සන නියමු ව්‍යාපෘතිය නුවරඑළියේ හදනවා කියලා. මේවගේ පහත් විදියට ජනතාව අන්දන ආණ්ඩුවක් තිබිල නෑ.  
  • ප‍්‍රශ්නය:- උතුරේ ඡන්දය නොතියා දෙවැනිවරටත් නැගෙනහිර ඡන්දයකට යාම හා රට පුරා සිදුවන සංවර්ධනය ගැන ඔබ අමතක කිරීම සාධාරණද?
පිළිතුර:- නැගෙනහිර උදානය කියල පූස්ස බිඳලා උතුරු වසන්තය කළා. රූපවාහිනිය පුරාම සංවර්ධනය දෝර ගලනවා. අම්පාරේ සංවර්ධනයක් නැතත් වෙන තැන්වල තිබෙන බවයි අම්පාරේ අය හිතන්නේ. ලංකාවටම ඔය බොරුව අදාළයි. ජනතාව මායාවෙන් රවටන්නේ ඒ විදියටයි. නැගෙනහිර සුනාමි ගෙවල් 4500 හැදුවේ විවිධ රටවල රාජ්‍ය නොවන සංවිධානයි. පාලම් හා වෘත්තීය පුහුණු මධ්‍ය්සථාන 09ම හැදුවේ ඇමෙරිකාවයි. ඒ ලකුණු ආණ්ඩුව දාගන්න හැදුවට පළාතේ ජනතාව ඇත්ත දන්නවා. එජාප කාලේ අලි වැටවල්වලට ලෝක බැංකු ආධාර ගත්තා. අද ඉන් 50%යි වැටට වැය කරන්නේ. ඉතිරිවා හොරකම් කරනවා. කොමිස් ගහනවා. අලි ඇතුන් ජනතාව මරන්නේ ගෙවල් කඩලා වගා පාළු කරන්නේ ඒ තුළයි. අද ලංකාවටම ලයිට් නෑ. ඒත් නොරොච්චෝලේ, කෙරවලපිටියට මැදිහත් වූ අයගේ පරම්පරා හතම කොමිස්වලින් ඒකාලෝක වෙලා. අනිත් හැම ක්ෂේත‍්‍රයකම අද සිදුවන්නේ එයයි. ජනතාව එදාවේල කන්න නැතුව ඉන්නකොට ආණ්ඩුවේ අය ලක්ෂ 20 වාහන ලක්ෂ 700 ගෙවල් හදන්නේ ඒ තුළයි.  
  • ප‍්‍රශ්නය:- නැගෙනහිර පළාත් සභාවෙන් ඉටු කළ හා ඉටු නොවූ කටයුතු හා ඊට බලපෑ හේතු ගැන පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ලෙස ඔබ කරන විග‍්‍රහය කුමක්ද?
පිළිතුර:- මධ්‍යම රජය නැගෙනහිර දියුණු කරන්න මුදල් නොදෙන බවයි. නැගෙනහිර මහ ඇමැති ඇතුළු සියලූ දෙනා වසර 04ක් බැණ බැණ හිටියේ. හැන්සාඞ්වල ඒවා තියෙනවා. වසරකට කලින් මේ ඡන්ද පවත්වන්නේ. රටේ හාල් නිෂ්පාදනයෙන් 20%ක් උපදින්නේ අම්පාරෙන්. ඒ ගොවීන් සිය ගණනක් අද වස බීලා රෝහල්වලින් ප‍්‍රතිකාර ගත්තා. අද වී කිලෝවක් නිෂ්පාදනයට රු. 33ක් වැය වුණත් ලැබෙන්නේ රු. 20-22ක් විතරයි. ලෝකයේ ඉන්ධන අඩු කරද්දී ලංකාවේ මිල වැඩි කළා. රු. 45,000ක් ධීවරයන්ගෙන් සූරාගෙන රු. 10,000ක ව්‍යාජ ඉන්ධන සහනයක් දුන්නා. ධීවර උද්ඝෝෂණවලින් ධීවරයො මැරුවා. කකුල් නැති වූ ධීවරයා දරුවන් 4 දෙනා ජීවත් කරගන්න බැරිව එල්ලිලා මැරුණා. ඒත් ආණ්ඩුව රු. 72ට ලංකාවට ගේන පෙට්රල් රු. 150ට විකුණන්නේ. ජනතාව ගැන හැඟීමක් නැති මේ වගේ පාලකයෝ මේ රටේ ඉඳල නැහැ. වී ගොවීන් රත්තරන් බඩු උගස් කරලා ගොවිතැන් කළේ. සින්න වෙන රන්බඩු කුණු කොල්ලයට ගන්නත් ආණ්ඩුවේ හෙංචයියන් පිරිසක් දැන් සුදානමින් ඉන්නවා. ඔන්න ”අපි වවමු රට නගමු” එකේ ප‍්‍රතිඵල. ගොවියා වළටම දාල තියෙන්නේ. වළ වහනවද නැද්ද කියල තීන්දු වෙන්නේ මේ මැතිවරණවල ප‍්‍රතිඵල අනුවයි. අද බුරුතු පිටින් ශ්‍රීලනිප අය එජාපය වටා රැස් වෙන්නේ මේ යථාර්ථය තේරුම් ගත් නිසයි. ඒ තුළ පළාත් සභාව අපි දිනනවා. ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් දිය යුතු මුදල්වලට අමතරව විදෙස් ආයෝජන හරහා මම නැගෙනහිර දියුණු කරනවා. මේ ආණ්ඩුවට කළ නොහැකි වූ දේ පනස් ගූණයකින් කරලා පෙන්නන්න මට පුළුවනි. අද අම්පාරේ විතරක් නොවෙයි රටේම ගොවීන් හා ජනතාවට වෙලා තියෙන්නේ එකම දේයි.  
  • ප‍්‍රශ්නය:- ජල හිඟයට හේතුව නියඟයද ආණ්ඩුවේ ජල කළමනාකරණයේ අවුලද නැත්නම් තවත් හේතු මේ හා බද්ධ වී තිබේද?
පිළිතුර:- මේ ජල ප‍්‍රශ්නයට හේතුව නියඟය නොවෙයි. ආණ්ඩුවේ ජල කළමනාකරණය ගැන ඇති නොහැකියාව මීට හේතුවයි. අනෙක අද රට පුරා වැව් තාවුලූවල ආණ්ඩුවේ දේශපාලකයො හෝටල් ගහලා. ඊට අමතරව සීප්ලේන් බස්සන්න වැව්වල ගල් තියෙනවද බලන්න ජලය මුදාහැරීම ජල ප‍්‍රශ්නයට බලපෑ ප‍්‍රධානම හේතුවයි. අද රටම දුක් විඳිනවා. ඒත් ආණ්ඩුව හිතන්නේ තමන් මොන තරම් රටට ජනතාවට ද්‍රෝහී ක‍්‍රියා කළත් ජනතාව තමන් දිනවන බවයි. ඒත් ජනතාව දැන් තමන් හා දුදරුවන් ගැන හිතන නිසා මෙදාපාර ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබේවි. මම දිනුවාම ගොවියාට වී කිලෝවකට රු. 40ක් දෙනවා. මගේ ව්‍යාපාර ඥානය හා පිටරට සබඳතා පාවිච්චි කරලා නැගෙනහිර ශීඝ‍්‍ර සංවර්ධනයක් ගේනවා. මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිර හා රටේ මුස්ලිම්වරු ආණ්ඩුවට විකුණලා ඔවුන් සුරසැප විඳින නිසා ඔවුන්ටත් මෙවර ජනතාවගෙන් නිසි පිළිතුර ලැබේවි.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා දිගාමඩුල්ල දිස්ත‍්‍රික් එජාප කණ්ඩායම් නායක දයා ගමගේ

සංවාද මෙහෙවර   අශෝක ජයතුංග