කොරෝනා දෙවැනි රැල්ලක් ඒවිද? මහ මැතිවරණය පැවැත්විය හැකිද? තුනෙන් දෙකක් ගතහැකිද යනාදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ‘2020 මැතිවරණ වේදිකාවට එක්වූයේ පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක ශාන් විජයලාල් ද සිල්වා මහතාය.
ප්‍රශ්නය:- කොරෝනා යළිත් හිස ඔසවලා. ආණ්ඩුව අසමත් නේද? ඡන්දයට වෙන්නේ මොකක්ද?
පිළිතුර:- ලෝකයේ ඕනෑම රටක වසංගත රෝග තත්ත්වයක දී පළමු වටය වගේම දෙවැනි වටයක් ඇතිවීම පිළිබඳ අනතුරුදායක පසුබිම් ඉතිහාසය පුරාම දැකගන්න පුළුවන්. අපේ රටේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කළා. ශ්‍රී ලාංකිකයන් හැටියට බොහෝ අවස්ථාවල අපට ගැටලු ඇති වුණාම ඒ ගැන අවධානය යොමුකර කැපවීමෙන් කටයුතු කළත් ටික කලක් යනවිට ඒ තත්ත්වය අමතක කිරීමේ සිරිතක් තිබෙනවා. යම් සිද්ධියක් වුණාම ආරක්ෂාකාරී වෙනවා. මෙතැනදීත් සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පිළිපැද්දත් යම් අය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ මත ඇතිවූ තත්ත්වයක් ලෙස කොරෝනා යළි හිස එසවීමක් වාර්තා වුණා. හැබැයි ආණ්ඩුව මුලින් කොරෝනා පාලනය ඉතා හොඳින්ම කළා. දැනුත් ඒ පියවර ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා. ආණ්ඩුවේ සමත්කම ඉදිරියේදී පෙනේවි.
ප්‍රශ්නය:- ජනතාව බිල්ලට දී හෝ ආණ්ඩුව මැතිවරණය පවත්වන්නට හදන බව විපක්ෂය චෝදනා කරනවා නේද?
පිළිතුර:- ලංකාවේ විපක්ෂය බොහොම කලක පටන් ඡන්දවලට හරිම බයයි. හැබැයි වෙනත් රටවල විපක්ෂ නම් කෙසේ හෝ ඡන්දවලට ඉදිරිපත් වී බලයට එන්න උත්සාහ කරනවා. අපේ විපක්ෂය බලන්නේ අධිකරණයට ගිහින් හෝ ඡන්දය පැවැත්වීම කල්දාන්න හෝ වෙනස් කර ගන්නයි. එනිසා කුමන හෝ කාරණයක් දඩමීමා කරගෙන ඡන්දය කල්දාගන්න මෙවරත් විපක්ෂය උත්සාහ කරනවා. ඡන්දය පැවැත්වූවොත් තමන්ට අත්වන දේශපාලන ඉරණම පිළිබඳ හොඳ අවබෝධයක් විපක්ෂයට තිබෙන බව මෙයින් හොඳින්ම පේනවා. ඔවුන්ට නියත පරාජයක් හිමිවන බව දැන්මම පිළිඅරන්. මැතිවරණ කොමිසම පවතින කාරණා පුළුල්ව විශ්ලේෂණය කර ඡන්දය පැවැත්වීමට තීරණය කළා. හැබැයි යළිත් ඡන්දය කල්දැමීමේ වුවමනාවට මැතිවරණ කොමිසම නොසිටින බව අපට හැඟී යනවා. ඉදිරියේදී ඇතිවිය හැකි දේ ගැන මේ වෙලාවේ සියයට සියයක් නිවැරදි පුරෝකථන කරන්න බැහැ.
ප්‍රශ්නය:- දැන් රටේ තිබෙන පසුබිමත් සමග තුනෙන් දෙකේ ඉලක්කයට ආණ්ඩුවට යන්න පුළුවන්ද?
පිළිතුර:- පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන සමහර අණ පනත් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අවශ්‍ය වෙනවා. රටට අහිතකර එවන් කාරණා වෙනස් කිරීමට අවශ්‍ය බලය ලබාදෙන ලෙස අපේ පක්ෂය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කොරෝනා නොතිබුණා නම් ඡන්දය පවත්වා අලුත් ආණ්ඩුවක් පත්වී රටේ වැඩ ආරම්භ වී ඉදිරියට යන්න තිබුණා. එහෙත් අවාසනාවට කොරෝනා ආවා. මේ රටේ ජනතාව තුනෙන් දෙකේ බහුතරය අපට ලබාදෙයි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා. රටේ වෙනසක් කිරීමට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සෘජුව තීරණ ගත හැකි ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍යයි. ජනතාවත් මේ කාරණා හොඳින් වටහාගෙන සිටිනවා.
ප්‍රශ්නය:- හැබැයි තුනෙන් දෙක තියා සරල බහුතරයක්වත් ගන්න බැරි තරමට ආණ්ඩුව පල්ලම් බැහැලා කියා විපක්ෂය කියනවා නේද?
පිළිතුර:- ජනාධිපතිවරණයේදීත් ඔය වගේ කතා විපක්ෂය කිව්වා. එදා එජාපය බෙදී තිබුණෙත් නැහැ. එජාපය සහ එයට හිතවත් සියලු කණ්ඩායම් එදා එකට සිටියා. හැබැයි අපි එදා වැඩි ඡන්ද ලක්ෂ 14කින් ජයගත්තා. මේ වතාවේ ඒ අය දෙකට තුනට බෙදිලා. ඔවුන්ට අත්වන්නේ පරාජයම බව ඔවුන් පමණක් නොවෙයි රටේ සාමාන්‍ය ජනතාවත් දන්නවා. ඒ නිසා ජනාධිපතිවරණයටත් වඩා ලොකු පසුබෑමකට අද විපක්ෂයේ සියලු කණ්ඩායම් ලක්ව සිටිනවා. එවන් වටපිටාවක අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සැකයක්, අවිශ්වාසයක් කාටවත් නැහැ.
ප්‍රශ්නය:- ඔබ මේ මහ මැතිවරණයට ඉදිරිපත් වන පදනම මොකක්ද?
පිළිතුර:- මම මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි සමස්ත දකුණු පළාතටම යම් සේවාවක් කිරීමෙන් පසුවයි. ක්ෂේත්‍ර ගණනාවකින් මම ඒ සේවාව කළා. ජය හඬ නමින් නිකුත් කළ පුවත්පතේ මේ සියලු විස්තර තිබෙනවා. මේ දක්වා කිසිදු අපේක්ෂකයකු එවැන්නක් එළිදක්වා නැහැ. ඒ එතරම් සේවාවක් ඔවුන් කර නැති නිසයි. තමන් ගැන විස්තර ප්‍රකාශන ගහන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි තමන් ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවාව මම එළි දක්වා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ මම ඉහළින්ම සිටිනවා. දිවංගත රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ යන මහත්වරු සමග මම සමකාලීනව දේශපාලනය කළා. අද දේශපාලනය කරන්නේ එතුමන්ලාගේ පුත්තු. අද මම ඒ අය සමගත් දේශපාලනය කරනවා. මේක බොහොම දුර්ලභ අවස්ථාවක්. මගේ දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය ගැන ගාල්ලේ ජනතාව දන්නවා. ජනතාවට වැඩ කළ ජ්‍යෙෂ්ඨයකු වශයෙන් ජනතාව ඉදිරියට පැමිණ මම බලය ඉල්ලනවා.
ප්‍රශ්නය:- රටේ ජනතාව ජීවන බරින් මිරිකී සිටින බවත් කියනවා. මේ පසුබිමේ ජයග්‍රහණය විශ්වාසද?
පිළිතුර:- කොරෝනා ලෝකයේ සෑම රටකටම පාහේ ඍජුව බලපා තිබෙනවා. මේ පසුබිමේ අනිටු විපාක ඇතිවීම වළක්වන්න බැහැ. වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව බලයේ සිටි නිසා තමයි ජනතාවට සහන ලැබුණේ. නැත්නම් ජනතාව අන්ත අසරණ වෙනවා. යම් අඩුපාඩු මේ වෙලාවේ තිබෙන්න පුළුවන්. ආර්ථිකයේ ඇතිවන පසුබෑම් ලෝකයේ සෑම රටකටම පොදු සාධක බවට පත්වෙලා. අපි කිසි විටෙක ජනතාවට සහන නොදී ඉන්නේ නැහැ.
ගාල්ලේ ප්‍රතිඵලය ගැන ඇස්පේන කන් ඇසෙන ඕනෑම කෙනෙක් දන්නවා. අතිවිශිෂ්ට ජයක් ගැන අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමග සැසඳුවොත් මෙවර ගාල්ලෙන් අපට මන්ත්‍රී ධුර හයක් ලබාගන්න පුළුවන්. එහෙත් අද පවතින ජනතා රැල්ල සම්පූර්ණයෙන් අපට හැරිලා. විපක්ෂය දෙකට බෙදී පක්ෂ මූලස්ථානය අල්ලන්න හදනවා. එජාපයේ විශාල පිරිසක් අපත් සමග එක්ව සිටිනවා. එම පසුබිමේ අපේ ඉලක්කය ගාල්ලෙන් මන්ත්‍රී ධුර හතක් ලබාගන්නයි. එය සාර්ථක වන බවට සුබ ලකුණු මේ වනවිටත් පහළ වෙලා. කවුරු කුමක් කීවත් අපි මෙවර ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලබනවා.
(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)