නුපන් දරුවන් අටසීයක් දිනකට මරණ රටක්


brif-03

ගබ්සා කිරීම යනු මව් කුසේ හටගත් කලලයක් නැති කර දැමීමය. විවිධ හේතු නිසා ස්වභාවිකව (බාහිර පුද්ගලයකුගේ බලපෑමකින් තොරව) මව්කුසේ දී කලල විනාශවන අවස්ථා ඇති අතර බාහිර බලපෑමක් මත කලලය නැතිකර දැමීම ගබ්සා කිරීම ලෙස සරලව හැඳින්වේ.

baby-01පසුගිය වකවානුවේ දත්තවලට අනුව දිනකට කරන නීති විරෝධී ගබ්සා ගණන 800ක් පමණ වේ. ඉපදෙන්නට සිටින දරුවා විරූපී, අංගවිකල බව මුල් අවස්ථාවේම වෛද්‍යවරුන් නිගමනය කළහොත් හෝ දරු ප‍්‍රසූතිය නිසා මව මිය යා හැකි බවට වෛද්‍යවරු නිගමනය කරන්නේ නම් හෝ ඇතැම් රෝහල් වල ගබ්සා කළ අවස්ථා වාර්තා විය. එසේ නැතිනම් සෑම ගබ්සා කිරීමක්ම  නීති විරෝධී දඩුවම් ලැබිය හැකි වරදකි.

කෙසේ වෙතත් ලංකාවේ ගබ්සා මධ්‍යස්ථාන ආකාර කිහිපයකට ක‍්‍රියාත්මක වේ. අඩු ආදායම් ලාභීන්ට අවම මිලකට අඩු පහසුකම් සැපයෙන ගබ්සා මධ්‍යස්ථාන එක් ආකාරයකි.  බොහෝ විට රුපියල් 3500 සිට 7500 දක්වා මිල ගණන් යටතේ මෙවැනි ස්ථානයකින්  පහසුවෙන්  ගබ්සාවක් කර ගත හැකිය.   ගණිකාවන්, ඇඟලූම් සේවිකාවන්,   අඩු වයසේ පෙම්වතුන් මෙවන් ස්ථාන කරා ඇදෙති.තවත් ආකාරයක් වන්නේ ජංගම ගබ්සා මධ්‍යස්ථානයි. වෑන් රථයක් හෝ ත‍්‍රී වීල් රථයක් තුළදී ගබ්සාව කරයි. එසේත් නැති නම් නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් ගබ්සාව කරයි.   ගබ්සාව කිරීමට පෙර මුදල් ගෙවිය යුතුය.   මේ ආකාරයේ ගබ්සාවක් සිදු කිරීම සදහා රුපියල් 5000 සිට 10000 ක් දක්වා මුදලක් අය කරති.  ගබ්සාවක් කරගැනීම පිණිස ග‍්‍රාමීය  පෙදෙස්වලින් නගරයට පැමිණෙන කාන්තාවන් ඉලක්ක කොට ගෙන මෙම ජංගම ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙයි.

අනිත් ආකාරය වන්නේ සුපිරි පැලැන්තියේ ගබ්සා මධ්‍යස්ථානයි. මේවායෙහි  රුපියල් 10000 සිට රුපියල් 30000 දක්වා  මුදලක් අය කරයි. සුපිරි පැලැන්තියේ  පිරිස් මේවාට ඇදී එති. බොහෝ ගබ්සා මධ්‍යස්ථානවල සී.සී.ටී.වී කැමරා සවිකර ඇත. පිටතින් පැමිණෙන පුද්ගලයන් සහ වාහන පිළිබදව නිරතුරු අවධානයෙන් සිටින බව මෙයින් පෙනී යයි. ඇතැම් ගබ්සා මධ්‍යස්ථානවල ගබ්සාව කරන අයුරු වීඩියෝ ගත කළ අවස්ථාද පසුගිය කාලයේ වාර්තා විය. මෙම විඩියෝ  පට නිසා තම ජීවිතය කාලකන්ණි කරගත් යුවතියෝ ද සිටිති. නමුත් මේ පිළිබදව පොලිසියකට   පැමිණිලි කිරීමට යාමට ඔවුන්ට නොහැකිව ඇත්තේ ගබ්සාව  අප රටෙහි නීති විරෝධී බැවිනි.   


brif-02

ගබ්සා කරන ආකාරය ද එකිනෙකට වෙනස්ය. ලංකාවේ බොහෝ විට කරනුයේ වැකුම් ක‍්‍රමයයි.  ඇතැම් ස්ථානවල පෙති වර්ගයක් හෝ එන්නතක් භාවිත කළ අවස්ථාද ඇත. ලංකාවේ බොහෝ නගරවල ඇති ගබ්සා මධ්‍යස්ථානවල සිටින්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරු නොව නුසුදුස්සෝය. ඇතැම් ස්ථානවල වෛද්‍යවරු සිටිති. නමුත් හිපොක්‍රොටිස් ප‍්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුනට ගබ්සාව තහනම්ය. ගබ්සා මධ්‍යස්ථාන කරා ඇදෙන වැඩිදෙනා තරුණියෝය. පෙම්වතුන් ලෙස සිටින අවධියේ මෙවැනි ගැබ්ගැනීම් ඇති වූ පසු මාපියන්ට සහ සමාජයට මුහුණ දීමට ඇති නොහැකියාව නිසා ගබ්සා මධ්‍යස්ථානයකට ගොස් ගබ්සාවක් කර ගැනීමට බොහෝ විට ඔවුහු පෙළඹෙති.  මෙවැනි මධ්‍යස්ථානවලට යන තරුණියන්ට බොහෝ විට සිදු වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩකි.

නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන (සියලූ ගබ්සා මධ්‍යස්ථාන නීති විරෝධීය* වෙත ගොස් ගබ්සාකර ගත් කිහිපදෙනකු සම්බන්ධ කර ගැනීමට ඉරිදා ලංකාදීපයට හැකි විය.  කොන්දේසි කිහිපයකට එකඟවීමෙන් පසු ඔවුහු තම අත්දැකීම විස්තර කළහ.

mother-kalina02එය ගම්පහ නිට්ටඹුවට ආසන්න  ප‍්‍රදේශයක  ගබ්සා මධ්‍යස්ථානයකි.  ගබ්සාවක්  කිරීම සඳහා  රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා මුදලක් අය කරන බව කියති. දන්ත ශල්‍යාගාරයක නාම පුවරුවක් යටතේ  මෙම ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. දිනකට තරුණ ගැහැනු ළමයින් 25ක් පමණ මෙම ස්ථානයට එන බව කියති. මේ ස්ථානයෙන් තම බිරිඳට ගබ්සාවක් කර ගත් කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු අපට හමු විය.
”මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ගැහැනු ළමයි.   ඒ නිසා තුන් වැනියත් ගැහැනු ළමයෙක් වෙයි කියා  සැකයක් ආවා.  ඒ නිසා මේ දරුවො දෙන්නා හොඳටම ඇති කියා අප තීරණය කළා.  මටත් ලොකු වැටුපක් ලැබුණේ නැහැ.  ඉන්න දරුවෝ දෙන්නත් පුංචියි.

නොසිතපු වෙලාවක මගේ බිරිය ගැබ් ගත්තට පස්සේ අපි දෙන්නම   ලොකු පීඩනයකට පත් වුණා.  ඉතින් මේ දරු ගැබ ඉවත් කරගන්න පුලූවන් දොස්තර කෙනෙක් හෙව්වා. ඔය අතරේ ගම්පහ නිට්ටඹුව ප‍්‍රදේශයේ  ගබ්සා මධ්‍යස්ථානයක් ඇති බව මගේ  මිතුරෙක් කිව්වා. ඔහු දුන් තොරතුරු මත මමයි බිරිඳයි එතන හොයාගෙන ගියා. එතන ගහලා තිබුණේ  දන්ත මධ්‍යස්ථානයක් කියලා. අපිට පොඩි චකිතයකුත් තිබුණා මෙතනමද යාළුවා කිව්ව ස්ථානය කියලා.
අප දෙන්නා ඇතුළට ගිහින් ඉඳගත්තා.  ටික වේලාවක් යද්දී එතැනට ඇවිත් හිටපු කාන්තාවන් දැක්කම තැන හරි කියලා තේරුණා.  මොකද ගොඩක් හිටියේ තරුණ කාන්තාවන්. ගොඩක් අය හිටියේ මනෝ ලෝකවල. අපි වගේම ප‍්‍රශ්න වැලකින් ඔවුන් පෙළෙමින් සිටින බව ඒ මුහුණු වලින් තේරුණා. අපේ වාරය ආ විට   වෛද්‍යවරයාට අපි පැමිණි කාරණය කිව්වා. වෛද්‍යවරයා අපෙන් ඇහුවා ඇයි දරුවා නැති කරන්න හදන්නේ කියා. අපි හේතුව කිව්වා. මෙතන කොහොමද දැනගත්තේ කියා ඇහුවා. අපි විස්තරය කිව්වා. ඉන් පස්සේ අපි ඇහැව්වා අපි ටිකක් දුර ඉඳන් ආවේ මේ වැඬේට කීයක් ගන්නවද කියා. ඔහු කිව්වා 3500 ක් ගන්නවා කියා. මම 3500 ගෙව්වා.

වෛද්‍යවරයා මට කිව්වා ඔයා එළියට වෙලා ඉඳලා පැය 2 කින් වගේ එන්න කියා.  මම පැය දෙකකින් විතර ගියාම බිරිඳට ගබ්සාව කරලා තිබුණා. වෛද්‍යවරයා ඇයට බොන්න පෙති වගයක් දීලා තිබුණා. සති දෙකකින් මුත‍්‍රා සාම්පලයක් පරීක්ෂා කරගන්න කීවා. මගේ බිරි්ඳ කීවා  ගබ්සා කරන්න ඉන්න ළමයිව සේරම එක කාමරයකට කූඩු කරලා ටික වෙලාවක් තියලා එක එක්කෙනාව අරගෙන ගබ්සාව කර ඉන්පස්සේ නැවත ඒ කාමරයටම ගෙනත් දාලා ටික වෙලාවකින් එළියට දානවා කියා.” ඒ අඩු ආදායම්ලාභීන් ගේ ගබ්සා මධස්ථානයකි.

සුපිරි පැලැන්තියේ ගබ්සා මධ්‍යස්ථානයක්   පානදුරට නුදුරු ප‍්‍රදේශයක  පවත්වාගෙන යන  වෛද්‍යවරයකු පිළිබඳවද අපට දැනගන්නට හැකි විය. එම ස්ථානයෙන්  ගබ්සාවක් කරගත් කාන්තාවක් ද අපට සොයාගැනීමට හැකි විය.  ඇයගේ පෙම්වතා අතින් ඇය ගැබ්ගෙන තිබුණි.

”මගේ පෙම්වතා මා  එතනට එක්කගෙන ගියා.  එතන  විශාල ගොඩනැගිල්ලක් තුළ තිබු වෛද්‍ය මධ්‍යස්ථානයක්.  බැලූ බැල්මටම බාහිරින් ආරක්ෂක විදි විධාන යොදා ඇති බව තේරුණා. අපි පැය බාගයක් පමණ බාහිර රෝගීන් අසුන් ගන්නා ස්ථානයේ රැුඳී සිටියා.  අපේ වාරය ආ විට වෛද්‍යවරයා අපි ආ කාරණය විමසුවා. පෙම්වතා පළමුව කිව්වා  මගේ යාළුවෙක් ඩොක්ටර් දන්නවා,  එයා තමයි මෙතනට එන්න කිව්වේ කියා. සිද්ධිය ඔහුට කීවා.

වෛද්‍යවරයා  මගේ බඬේ ජෙල් එකක් ගාලා ස්කෑන් පරික්ෂණයක් කළා.  ඉන් පස්සේ ඔහු  බෙහෙත් පෙති දෙකක් දුන්නා. මේක බීව්වාම මාසික ඔසප්වීම හැදෙයි.  බීලා සති දෙකකින් එන්න කිව්වා. රුපියල් පන්දහසක් ගත්තා බේහෙත් පෙති දෙකට.

ඔහු කියූ ලෙස මාසික ඔසප්වීම හැදුණේ  නැහැ.  අපි නැවතත් සති දෙකකින් ගියා.  එතන තව සේවිකාවන් හතර පස් දෙනෙක්ම හිටියා.  ඔහු මා  ඉහළ මාලයක කාමරයකට කැඳවාගෙන යන ලෙස සේවිකාවන්ට කිව්වා. මා  කාමරයකට රැගෙන ගියා. එය හොඳ කාමරයක්. පෞද්ගලික රෝහලක කාමරයක් ලෙස එය සකස් කොට තිබුණා.  එහි  රූපවාහිනියක් වගේ එකක්  බිත්තියේ ඉහළින් ගසා තිබුණා. එය පිටත පාරේ සිටම වෛද්‍යමධ්‍යස්ථානයට එනතෙක් සිදුවන දේ පටිගත වී  පෙනුණා.   මහ පාරේ යන එන වාහන පවා එයින් පෙනුණා.

ගබ්සාව සදහා  සියලූ දේ සුදානම් කර සේවිකාවන් වෛද්‍යවරයා කැදෙව්වා. වෛද්‍යවරයා පැමිණ රූපවාහිනී තිරයෙන් පිටත තත්ත්වය හොඳින් නිරීක්ෂණය කළා. මට ගබ්සාව කර අවසාන වන තෙක්ම සේවිකාවන් දෙදෙනකු එම රූපවාහිනී තිරය දෙස බලාගෙන හිටියා. මට වේදනාවක් දැනුණා. ඒ බව මා පැවසුවා. වෛද්‍යවරයා මට තරමක් සැරෙන් කිව්වා කියන විදියට ඉන්න කියා.


brif-01


පැයක පමණ කාලයක් ගබ්සාව කිරීමට ගත වුණා. ඉන්පසු මා වෙනත් කාමරයකට  අරගෙන ගිහින් තවත් පැයක් පමණ රඳවා ගත්තා. ගබ්සාව කරන අයුරු වීඩියෝ කරන බවත් මට හැඟුණා. නමුත් එම අවස්ථාවේ මා අසරණව සිටි නිසා විරෝධතාවක් පළ කිරීමට නොහැකි වුණා.   ඉන්  පසු පහත මාලයට රැුගෙන ගොස්  සතියක් යන තුරු බීමට බෙහෙත් වර්ග දෙකක් ලබා දුන්නා.  ස්කෑන් පරික්ෂණයක් සදහා නැවත මාසයකින් පැමිණෙන ලෙස ඔහු කීවා.
ගබ්සාව සදහා රුපියල් 20000 ක මුදලක් පෙම්වතා ගෙවා තිබුණා.


(ගබ්සාවලට දොස්තරලාගේ දායකත්වය මීළඟට)

 

kalina-02-futter