පිළිකාකාරක පොල්තෙල් රටට ඇතුළු වී තිබෙන බවට පැතිර යන කතාව පහුගිය දිනවල දැඩි ලෙස සමාජගත වී තිබිණි. එය පාර්ලිමේන්තුවේ දී පවා ප්‍රශ්න කිරීම්වලට ලක්විය. එම කතාවට අනුව විස සහිත පොල්තෙල් රටට ඇතුළු වී දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන්නැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී තිබූ බව ද ප්‍රකාශ විය. එවැනි පරීක්ෂණ පවත්වා ඇත්නම් එහි ප්‍රතිඵල කුමක් දැයි එම වාර්තාව ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිදරව් කිරීම රජයේ වගකීමක් යැයි, අපි සිතමු.
අහිතකර රසායන ද්‍රව්‍ය මිශ්‍ර වූ පොල්තෙල් රටට ගෙන්වා ඇති බව හෙළිකර තිබුණේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙම පොල්තෙල් රටේ වෙළෙඳපොළට ඇතුළු වී ඇති බවට තොරතුරු ඇතැයි පසුව ප්‍රචාරය වීමෙන් එය ජනතාවට ගැටලුවක් ඇතිකර තිබේ. පිටරටින් ගෙන්වා ගබඩා කර පොල්තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ වෙළෙඳහල් දෙකකට සීල් තැබුණේ ද මේ ආරංචිය ද සමඟිනි. මාතලේ පාරිභෝගික අධිකාරිය මගින් සිදුකර තිබූ මෙම වැටලීමේ දී දැනගන්නට හැකිව ඇත්තේ එම ස්ථානවල ගබඩා කර තිබූ පොල්තෙල් සහ පාම් තෙල් තොග ගෙන්වූ ආයතනයක නමක් හෝ ලියැවිල්ලක් හෝ නොතිබූ බවය. එසේ වූයේ කෙසේදැයි වෙනම සොයා බැලිය යුතුය.
පාරිභෝගිකයන් පැත්තෙන් සලකා බලන විට මෙය දැඩි අනාරක්ෂිත එමෙන්ම සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වන ජාවාරමකි. සීල් තබා ඇති තෙල් තොග රටට ඇතුළු වී ඇති බව කියන පිළිකා කාරක පොල්තෙල් දැයි අනාවරණය නොවුණත් මෙය ජනතාවගේ සිත තුළ විශාල සැකයක් ජනිත කිරීමට හේතු වෙයි. එම සැකය දුරු කිරීමට ඇමැතිවරුන්ගේ ප්‍රකාශ පමණක් ප්‍රමාණවත් නැත. පාරිභෝගික ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන මට්ටමේ පරීක්ෂණ සිදුවිය යුතුය. එසේ නොවුණොත් වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇති සෑම පොල්තෙල් වර්ගයක් කෙරෙහිම පාරිභෝගිකයන් බලනු ඇත්තේ සැකයෙනි. එය අර්බුදයක් බවට පත්වීමට වැඩි දවසක් නොයනු ඇත.
මේ අතර පසුව රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණේ සැකයට භාජන වී ඇති පොල්තෙල් තොගයෙන් එක් බිඳක් හෝ වෙළෙඳපොළට නිකුත් වී නැති බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවය. සැක සහිත පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කරන්නැයි ඒවා ආනයනය කළ සමාගම්වලට දැනුම් දී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කියා තිබිණි.
එය එසේ සිදුවෙනවා නම් රටට යහපතකි. එහෙත් ඇමැතිවරයාම කියා තිබූ පරිදි ලංකාවට ගෙන්වා ඇති පිරිසුදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40ක විස සහිත රසායනික අඩංගුය. එයට හේතුව ලෝක වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙන බැවින් අදාළ සමාගම් රටට ගෙන්වා ඇත්තේ පිරිපහදු නොකරන ලද ලාබ පොල්තෙල් වීමය. මෙරටදී පිරිසුදු කොට වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අදාළ අංශවල අනුමැතිය ලැබෙන තෙක් එම පොල්තෙල් තොග ගබඩා කර ඇතැයි ද සඳහන්ය. ඒවා වෙළෙඳපොළට නිකුත් වී නැති බව රේගුව සහ ප්‍රමිති ආයතන ද කියා තිබිණි. එය එසේ නම් බියවීමට හේතුවක් නැත.
එහෙත් ලෝක වෙළෙඳපොළේ මිල අධික වීම ශ්‍රී ලංකාවට පිරිපහදු නොකරන ලද, විස සහිත බාල පොල්තෙල් ගෙන්වීමට හේතුවක් විය නොහැක. පොල්තෙල් යනු රටේ ජනතාව සුලබව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යයක් බැවින් පිරිපහදු නොකළ, විස සහිත පොල්තෙල් ගෙන්වීම බලවත් වරදක් හැටියට අපි දකිමු. එයට ඉඩදුන්නේ කවුදැයි වහාම සොයා බැලීම ද අවශ්‍යය. අපිරිසුදු බව දැන දැනම එවැනි පොල්තෙල් ගෙන්වීමත් ඒවා ගෙන්වීමට ඉඩදීමත් දෙකම බරපතළ වැරැද්දකි.
අහිතකර පොල්තෙල් වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබිණි. එය හාස්‍යයට කරුණක් බව කිව යුතුය. අලෙවියට තබා තිබෙන පොල්තෙල්වල පිළිකාකාරක තිබේදැයි පාරිභෝගිකයන්ට හඳුනාගත හැකි නම් ඒවා මෙරටට ගෙන්වා බෙදාහරින පුද්ගලයන්ට ඊට පෙර හඳුනා ගැනීමට හැකි විය යුතුය. පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නේදැයි සොයා බැලීමට පාරිභෝගිකයන්ගේ පැමිණිලි ලැබෙනතුරු සිටිය යුතු නැත. එය රේගුවේ සිටම සිදුවිය යුතු කාර්ය භාරයකි.
පිළිකාකාරක පොල්තෙල් ගෙන්වා තිබේ නම් ඒවා රට තුළට ගෙන ඒම නොකරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද බන්දුල ඇමැතිවරයා සඳහන් කර තිබිණ.. එසේ උපදෙස් ලබා දී තිබියදීත් පිළිකාකාරක පොල්තෙල් රට තුළට ඇතුළු වී තිබේ නම් ඒ පිටුපස නිසැකවම තිබෙන්නේ විශාල ජාවාරමකි. රටේ පොල්තෙල් කර්මාන්තය පවා විනාශ මුඛයට ඇද දැමීමට එවැනි ජාවාරම්කරුවන්ට මහ ලොකු කාලයක් යන්නේ නැත. වහාම අහිතකර පොල්තෙල් රටින් පිටකරන තැනට වග බලාගැනීමත් යළිත් එවැනි ජාවාරමකට ඉඩ නොතැබීමත් ඇමැතිවරුන්ගේ වගකීමකි.
(***)