පොලිස් අණ නොතැකීම රටේ නීතිය බාල්දු කිරීමක්


යාපනය, වඩමාරච්චි, වල්ලිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ජාවාරම් කිරීමේ සිද්ධියක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

රථ වාහන පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ මුල් මාස තුන රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව14 දෙනෙකි. ඉන් දහ දෙනකුම මියගොස් තිබෙන්නේ රාජකාරි කරමින් සිටියදීය. ඉකුත් මාස තුන ඇතුළත රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 13 දෙනෙකි. සුළු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 49 කි. 2020 වසරේදී රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 28 කි. රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ හා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ 2018 වසරේ සිට 2021 මුල් මාස තුන දක්වා කාලය තුළ රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් ඇති බවය.

රටේ සාමාන්‍ය පොදු ජනතාවට මහ මගට බැසීම දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමකි. පොලිස් නිලධාරීන්ට මහ මග රාජකාරි කිරීම යුද්ධය පැවති සමයේ උතුරේ යුද බිමක රාජකාරි කිරීමක් බවට පත්ව ඇති සෙයකි. අලුත්ම සිදුවීම පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා මුහුණදුන් බිහිසුණු සිදුවීම වේ.

අපගේ ප්‍රවෘත්තියට අනුව ටිපර් රථ යොදා ගනිමින් නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කරන බවට යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් හය දෙනකු එම ස්ථානයට යමින් සිටියදී  වැලි පටවාගෙන පැමිණි ටිපර් රථයක් ඉදිරියට පැමිණ තිබේ. එම ටිපර් රථයට නවතින ලෙසට පොලිස් පරීක්ෂකවරයා සංඥා ලබාදී ඇතත් රියැදුරු රථය නොනවත්වා ධාවනය කරමින් ඉදිරියට විත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හප්පා පළාගොස් තිබේ. සිදුවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු පාදයට තුවාල වී ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

පොලිස් නිලධාරියකුගේ සංඥාවට අවනත නොවී එම පොලිස් නිලධාරියා හප්පා පලායාම සාමාන්‍ය සරල සිදුවීමක් නොවේ. මේ හප්පන්නේ පොලිස් නිලධාරියකු පමණක් නොවේ. රටේ නීතියට ජනතාව  සතු ගෞරවනීය විශ්වාසනීය හැගීම් ද මෙබඳු හැප්පීම්වලින් විනාශ වී යයි. නීතියට බිය නොවීමේ පුරවැසි දාමරික හැඟීම මෙමගින් මනාව පැහැදිලි වේ.

රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. එහි විනාශයේ තරම වටහා ගැනීම අසීරු නොවේ. නීතිය සම්බන්ධ ජනතා විශ්වාසය බිඳ වැටීම තුළ නීතියට ඇති භය හා පක්ෂපාතීත්වය දුරුවී යයි. තමන්ගේ අනීතික ක්‍රියාවලට එරෙහිව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරියකු හප්පා යටකර පලා යාමට  පුරවැසියකුට හැකිවීම සරල දෙයක් ලෙස ගණන් නොගත යුත්තේ එහෙයිනි.
නීති විරෝධී ලෙස වැලි ජාවාරමේ යෙදෙන්නා හොඳාකාරවම දන්නා දෙයනම් තමන් කරනු ලබන්නේ අනීතික ක්‍රියාවක් බවය. එමෙන්ම මෙරට සාතිශය බහුතරයක් ජනයා නීතියට භය පක්ෂපාතී වෙති. එහෙයින් ඔවුහු වැලි ජාවාරම්, පස් ජාවාරම්, දැව ජාවාරම් ආදී මහා පරිමාණ ජාවාරම්වල නොයෙදෙති. එසේ යෙදෙන යමෙක් වෙත්නම් ඒ සාමාන්‍ය ජනයා නොවෙති. විශේෂ බලයක් ඇත්තකු හෝ එබඳු විශේෂ බලයක් සහිත පුද්ගලයකුගේ ආශිර්වාදය රැකවරණය ලබන්නෙක්ම වෙයි. පොලිස් නිලධාරියකු හප්පා යටකර පලායාමේ එඩිතර බව නිර්මාණය වන්නේ ඒ අනුවය. එහෙයින් එම ජඩ රියදුරා පමණක් නොව ඒ පසුපස තිබෙන විශේෂ ශක්තියද කුදලා නීතිය ඉදිරිපිටට රැගෙන ආ යුතුය.

මහරගම පන්නිපිටියේදී රියැදුරෙකුට රෙස්ලින් පන්නයේ ප්‍රහාරයක් එල්ල කළ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා සම්බන්ධයෙන් වාර්තා වූයේ ඉකුත් සතියේදීය. එම තුච්ඡ හැසිරීම මෙම තීරුවේම අපි දැඩි ලෙස හෙළා දුටුවෙමු. ඒ එබඳු පන්නයේ සිදුවීම් නිසා මහජනයා තුළ පොලිසිය සම්බන්ධයෙන් පැවතිය යුතු ගෞරවනීය හා පක්ෂපාතී හැඟුම් විනාශ වී යන හෙයිනි. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ මහ මගදී පොලිස් නිලධාරියාගේ සංඥාවලට අවනත නොවීම පමණක් නොව එම පොලිස් නිලධාරියා හප්පා යටකර පලායන දාමරික පුරවැසියන් බිහිවීමයි. කෙසේ වෙතත් මෙම ප්‍රවණතාව රටේ පැවැත්මට යහපත් නැත. දාමරික අනීතික පුරවැසියන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුත්තේ එහෙයිනි.


(***)