මගේ ඉල්ලීම පිටිදුවේ හිමියන් මගහැරියා


 

 

 

පිටිදුවේ සිරිධම්ම හිමියෝ  නිවන් දුටු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන විට උන්වහන්සේගේ ඥාන ශක්තිය උරගා බලන්නැයි අභියෝගයක් ද කළහ. එම අභියෝගය මුලින්ම භාර ගත්තේ ගිහියන්ය. පිළියන්දල, මාම්පේ පදිංචි අශෝක රණසිංහ මහතා ද එවැන්නෙකි. ඔහු ද තමා තරම් සිත දියුණු කර ගත්තෙකු ලොව තවත් නැතැයි ප‍්‍රකාශ කරමින් දේශන පවා කරන්නෙකි. පසුගිය දිනෙක අපි ඔහු සමග ද සාකච්ඡා කළෙමු.


ප‍්‍රශ්නය: ඔබ නමින් අශෝක රණසිංහ. පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ අභියෝගය භාරගත් ගිහියන් කීප දෙනා අතරින් කෙනෙක්. ඔබ කොහේ ද ඉන්නෙ, මොනව ද කරන්නෙ?
පිළිතුර:
මම ව්‍යාපාරිකයෙක්මි. පදිංචිය අංක 81, මහරගම පාර, මාම්පේ, පිළියන්දල.

 


ප‍්‍රශ්නය: පිටිදුවේ හිමියන්ට ඔබ යැවූ ලිපියේ පිටපතක් අපට ලැබුණා. ඔබ දේශන පවත්වන බවත් සඳහන් කර තිබුණා. ඒ දේශන කුමක් සම්බන්ධව ද, කාට ද ඒවා පවත්වන්නෙ?
පිළිතුර:
මනස සම්බන්ධව දේශන පවත්වනවා. මම කොළඹ වි.වි. ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට දේශන පවත්වලා තියෙනවා. ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ටත් දේශන පවත්වලා තියෙනවා.

 



ප‍්‍රශ්නය: ඔබ සිත දියුණු කර ගත්තෙක් කියනවානෙ. ඔබත් නිවන් හෝ මාර්ග ඵල ලැබූවෙක් ද?
පිළිතුර:
නෑ... නෑ... මම නිවන් දැකලත් නෑ. සෝවාන් ආදී මාර්ග ඵලයට පත් වෙලත් නෑ. ඒ දෙවි කෙනකුගේ හෝ ජ්‍යොතිෂයේ සම්බන්ධයකුත් නෑ. මා ආධ්‍යත්මික දියුණුව ලැබූවෙක්.

 



ප‍්‍රශ්නය: එතකොට ඔය කියන ආධ්‍යාත්මික දියුණුව ලැබුණෙ කොහොම ද?
පිළිතුර:
උත්පත්ති බලය, පෙර කරන ලද කර්ම ශක්ති බලය.

 



ප‍්‍රශ්නය: ඔබ කියනවා ඔබයි දැනට ලෝකයේ සිටින සිත දියුණු කරගත් කෙනා කියලා. ඇයි මෙහෙම කියන්නෙ?
පිළිතුර:
ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් සොයා නොගත් අවස්ථා තුනක් මා සොයාගෙන තියෙනවා. ලෝකයේ සමතුලිතතාව බිඳීමට හේතු වූ තනි හේතුව, සිතේ අභ්‍යන්තරයේ සිදු වන ප‍්‍රධානම අභ්‍යන්තර ක‍්‍රියාවලිය, එම ක‍්‍රියාවලිය හේතු කොට ගෙන මොළය ක‍්‍රියාත්මක වන ආකාරය. නවීන විද්‍යාව දියුණු ලෝකයේ කෙතරම් සූක්ෂ්ම උපකරණ සොයා ගත්තත් මේ කාරණා සොයාගෙන නෑ. ඒකට හේතුව මේ අවස්ථා තුනම ලෝක විෂයට අයිතියි. දැන් කෙරෙන විද්‍යාත්මක පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මගින් ලෝක විෂය අවබෝධ කරගන්නට බෑ. යමෙක් එහෙම කරන්න ගියොත් ඔහු මුලාවට පත් වෙනවා. නැත්නම් උමතු බවට පත් වෙනවා.

 



ප‍්‍රශ්නය: ඔබ පිටිදුවේ හිමියන්ගේ අභියෝගය බාර ගත්තා. ඔබ බෞද්ධයෙක් ද? ථෙරවාදය පිළිගන්නවා ද?
පිළිතුර:
මම බෞද්ධ, ථෙරවාදය පිළිගන්නෙ.

 



ප‍්‍රශ්නය: පිටිදුවේ හිමියන් අභියෝගය කළ අවස්ථාවේ ඔබ ඒ අභියෝගය බාර ගත්තෙ එය කළ හැකි බව දැණුනු නිසා ද? මා හිතන්නේ ඔබ ත‍්‍රිපිටක දැනුමවත් නැති කෙනෙක්.
පිළිතුර:
පිටිදුවේ සිරිධම්ම හිමියන් ත‍්‍රිපිටකය දෙතුන් වරක් කියවා ඇති බව මට දැන ගන්න ලැබුණා. ඒ නිසා ත‍්‍රිපිටකයෙන් ප‍්‍රශ්න අසා උන්වහන්සේගේ ඥාන ශක්තිය පරීක්ෂා කිරීම අපහසු වේවි. හේතුව ත‍්‍රිපිටක දැනුම මතකයේ තියාගෙන උන්වහන්සේ අබියෝග කරන්නේ. මේ අධ්‍යාපනික දැනීමක්. උගත්කම බුද්ධිය ලෞකිකයි. ඒ අය තමයි ශාස්ත‍්‍රවේදී, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත උපාධි ගන්නේ. නමුත් පිටිදුවේ හිමියන් කියන්නේ ලෝකෝත්තර පැත්තක් ගැන. එහෙම කෙනෙක් අධ්‍යාපනික දැනුම තියන අයටනෙ මේ අභියෝග කරන්නේ. ඒක කළ නොහැකියි. රහතන් වහන්සේ කියන්නේ සිත, රූපය අත හැරි කෙනෙක්. ඒ බව පෘථග්ජනයෙක් කියන්න නම් ඔහුට සිත දෘෂ්‍යමාන විය යුතුයි. එහෙම නෑනෙ. රහත්වරු එම තත්ත්වය ප‍්‍රකාශ කරන්නෙ නැත්තෙ ඒකයි. මම විද්‍යානුකූලව ඔප්පු කරන්නෙ. මා අහන්නෙ සිතේ අභ්‍යන්තර ක‍්‍රියාවලිය ගැන.

 



ප‍්‍රශ්නය: උන්වහන්සේට ඔබේ අභියෝගය දැනුම් දුන්න ද?
පිළිතුර:
මම මුලින්ම සිරි සදහම් ආශ‍්‍රමයට කතා කළා. එතන දී ධම්මසීහ හාමුදුරුවො පිළිතුරු දුන්නෙ. මෙය වාද විවාද ලෙස නොවෙයි. සංවරව රූපවාහිනී මාධ්‍යයක් මගින් කරමු කියලා අප කතා වුණා. ලිඛිතව මෙය දැනුම් දෙන්න කියලා උන්වහන්සේ කිව්වා. මම ලිඛිතව ඉදිරිපත් කළා. ඊට පස්සෙ පිටි¥වේ සිරිධම්ම හිමියන් ලිපියක් මට එවා තිබුණා මා අප‍්‍රසිද්ධ පුද්ගලයෙක් කියලා. මම උන්වහන්සේ සමග කතා කළාම පසුව කැමැති වුණා. නමුත් උන්වහන්සේ ඊළඟට කිව්වා ඔබ අප‍්‍රසිද්ධ නිසා අසවල් රූපවාහිනිය මෙයට අකැමැති වේය කියා. මම ඒ රූපවාහිනී ආයතනයට කතා කළා. ඒ අය කැමැතියි. ලිඛිතව එවන්න කිව්වා. මම ලිපිය යැවුවා. නමුත් උන්වහන්සේ මගෙන් මග හැරියා.