මට ඕනෑනම් කැබිනට් ඇමැතිකමක් ගන්න පුළුවන්


ක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් සතියේ සිට පුවත් මවමින් සිටී. ඒ ඔහු ආණ්ඩුවට එකතුවීමට යන්නේය යන ප‍්‍රචාරයත් සමගය. ඔහු ආණ්ඩුවට යයිද? නොයයිද? ඔහු සමග මේ කතාබහ එයට පිළිතුරක් සපයා ගැනීමටය.   ප‍්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට එකතු වන බවට පුවත් පළ වුණා. ඒ ඔබද? එහෙම තැන්නම් වෙනත් මන්ත‍්‍රී කෙනෙක්ද? පිළිතුර: ඔය ප‍්‍රවෘත්තිය ඔබේ පුවත් පතෙත් පළවුණා. අවාසනාවකට වගේ ඔය ප‍්‍රවෘත්තිය පළ කරන්න කලින් මගෙන් විමසීමක් කළ යුතුව තිබුණා. නමුත් එහෙම දෙයක් වුණේ නෑ. අද තියෙනව ”නිවුස් ප්ලාන්ට්” කිරීමේ මෙහෙයුමක්. ඒ කියන්නේ අවශ්‍ය විදියට වර නගලා වර්ණ ගන්වලා ප‍්‍රවෘත්ති පැල කිරීමේ මෙහෙයුමක්. මේ ප‍්‍රවෘත්තියත් ඒ වගේ එකක්. මාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කර ගැනීමේ මෙහෙයුමක කොටසක් වශයෙන් තමයි ඔය ප‍්‍රවෘත්තිය මම දකින්නේ.   ප‍්‍රශ්නය: ඒ ප‍්‍රවෘත්තියේ නමක් ගමක් තිබුණේ නෑ. ඉතින් ඇයි ඔබ ඒ ප‍්‍රවෘත්තිය ඔබට අදාල කර ගන්නේ? පිළිතුර: සිංදු කියන කටකාර තරුණ මන්ත‍්‍රීවරයෙක්  කියලනේ ඒ ප‍්‍රවෘත්තියේ තියෙන්නේ. ඉතින් එතකොට කෙලින්ම මාව මේකට සම්බන්ධ වෙනවනේ. අනික ඔය ප‍්‍රවෘත්තිය ගියාට පස්සේ හුඟාක් දෙනෙක් මට කතා කළා.   ප‍්‍රශ්නය: ඔබේ පක්ෂයේ නායකතුමත් කතා කළාද? පිළිතුර: නෑ. එතුමානම් කතා කළේ නෑ, එතුමාට කොන්දක් තිබුණා නම් කෙලින්ම මගෙන් අහන්න තිබුණානේ  ඇත්තද මේ කතාව කියලා. නමුත් එතුමා එහෙම ඇහුවේ නෑ. ඒ වෙනුවට එතුමා පක්ෂයේ ලේකම්තුමාට කියලා තියෙනවා වාර්තාවක් දෙන්න කියලා. මම දන්නේ නෑ. මේ ලෝකේ මෙහෙම දේවල් වෙනවද කියලා.   ප‍්‍රශ්නය: පක්ෂයේ ලේකම්තුමා ඔබගෙන් ඊට පස්සේ ඇහුවා? පිළිතුර: මගේ ප‍්‍රකාශයත් රූපවාහිනියෙන් ගියාට පස්සේ ලේකම්තුමා මට කතා කළා. කතා කරලා ඇහුව මේ කතා ඇත්තද කියලා. මම කිව්වා ඔය කිසිම දෙයක් මම දන්නේ නෑ කියලා. මට මේ ඩෙංගු හැදිල ඉඳලා ගෙදර ඇවිල්ලා ඉන්නේ කියලා.   ප‍්‍රශ්නය: සාමාන්‍යයේ ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියලා  කියමනක් තියෙනවා? පිළිතුර: ඔව් එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ වෙන දේවල් දිහා බැලූවම එහෙම නොවෙන්නත් පුළුවන් කියලා පේනවා. මම ජනාධිපතිතුමා හමුවුණේ නෑ. ඒක මම වගකීමෙන් කියනවා. එතුමාගේ නියෝජිතයෙක් එක්කවත් මම කතා කරලා නෑ. මම එහෙම කරන කෙනෙක් නොවෙයි. නමුත් අපේ පක්ෂයේ ඉන්නවා ජනාධිපතිතුමා එක්ක ඞීල් දාන අය. බැසිල් රාජපක්ෂ එක්ක ඞීල් දාන අය. ගෝඨාභය රාජපක්ෂ එක්ක ඞීල් දාන අය. නාමල් රාජපක්ෂ එක්ක ඞීල් දාන අය. මම  ඕනනම්  නම් ගම් එක්කම කියන්නම්. හැබැයි අද නොවෙයි. මම එහෙම කරන කෙනෙක් නොවෙයි. මම ඔය කා එක්කවත් ඞීල් දාන්න යන්නෙ නෑ. ඒ නිසා මේ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්.   ප‍්‍රශ්නය: එජාපයේ මලික් සමරවික‍්‍රම මහත්මයා නුවරදී ජනාධිපතිතුමා හමුවෙච්ච වෙලාවක ඔබ ගැන ඇහුවා කියලා වාර්තා පළ වුණා. ” ඕනැම කෙනෙකුට එන්න පුළුවන්” කියලා එතුමා කී බවටත් ඒ ප‍්‍රවෘත්තියේ තිබුණා. ඒක එක්තරා ආකාරයකට මේ කතාව සනාථ කරන්නක්? පිළිතුර: ජනාධිපතිතුමා එතුමාගේ ප‍්‍රතිපත්තිය කියන්න ඇති. කවුරුහරි ආවොත් ගනන්වා කියලා. ඒකෙන් කියැවෙන්නේ නැහැනේ මාව ගන්නවා මට එන්න කියලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒකෙන් මේ කතාව සනාථ වෙන්නේ නෑ, මම ඒකයි කිව්වේ මේක ”ප්ල්න්ට් නිවුස්”එකක් කියලා.   ප‍්‍රශ්නය: ඔබ යන්නෙත් නැත්නම් ඔබව එහෙන්  ගන්නෙත්  නැත්නම් ඔබ යනවා කියන ප‍්‍රවෘත්තිය හරහා කවුරු කුමක් බලාපොරොත්තු වෙනවද කියලාද ඔබ හිතන්නේ. පිළිතුර: අපේ පක්ෂයේ ව්‍යවස්ථාව ආපසු වෙනස් කරගෙනනෙ. දැන් ඉන්නව යාවජීව නායකයෙක්. අපි සම්මේලන කැඳවලා මහ අරගලයක් කරලා වසරින්  වසර නායකයන් පත්කර ගන්න පුළුවන් විදිහට පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර ගත්තා. නමුත් දැන් ඒ ව්‍යවස්ථාව ආපහු වෙනස් කරගෙන. නායකයාට ජීවිතාන්තය දක්වා නායකත්වයේ ඉන්න පුළුවන්. මේ ක‍්‍රමයට මම විරුද්ධයි. ඒ විරුද්ධත්වය මම ප‍්‍රකාශ කළා. මේ ඒකට ලැබුණ ප‍්‍රතිචාරය තමයි.   ප‍්‍රශ්නය: ඔබව හැඳින්වුණේ සජිත් පිලේ මන්ත‍්‍රීවරයකු හැටියටයි. දැන් ඔබ පිළිගන්වද රනිල් වික‍්‍රමසිංහ නායකතුමා සමග ගැටුමකට ගිහින් ජය ගන්න බෑ කියලා. පිළිතුර: නායකතුමා එක්ක මට ගැටුමක් අවශ්‍ය නෑ. අපටත් අවශ්‍ය සහයෝගයෙන් වැඩ කරන්නයි. මේ පක්ෂයට අවශ්‍ය ඒකනේ. ඒ වගේම තමයිි සජිත් පිල කියලා එක්ක නෑ, සජිත්  පේ‍්‍රමදාස මහත්තයයි  අපියි ඔක්කොම එකතුවෙලා  කළේ එකම කාර්යභාරයයි. මේ පක්ෂයේ 8.1 වගන්තිය ඒ කියන්නේ  යාවජිව නායකයෙක් බිහි කරලා තිබුණ වගන්තිය වෙනස් කිරීම හා පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීකරණය කීරීමේ ක‍්‍රියාව. ඒක තමයි අපේ ක‍්‍රියාදාමය බවට පත්වෙලා තිබුණේ එතකොට ඒ ක‍්‍රියාදාමයේ  මම හිටියා. ඒක ක‍්‍රියාත්මක කරලා ඉවර කළා. ඊට පස්සේ තමයි දැන් මේ ප‍්‍රශ්න  මතු කරලා තියෙන්නේ.   ප‍්‍රශ්නය: ඔබේ ස්ථාවරයෙත් ඒකමතික බවක් නෑ, ඔබ කලින් සජිත් පිලේ හිටියා. ඊට පස්සේ කිව්වා සජිත් හා රනිල් අතර අතරමැදියෙක් වෙනවා කියලා. ඊටත් පස්සේ ඔබ යළිත් සජිත් පිලෙන් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට ඉල්ලූවා. මෙහෙම කරලා ඔබ දැන් අතරමං වෙලා. පිළිතුර: නෑ. මං ඒකයි කියාගෙන ආවේ. අපි ලොකු වැඩ කොටසක් කළා. පක්ෂ සම්මේලනය කැඳවලා පක්ෂයේ ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රීකරණයට ලක් කළා. ඊට පස්සේ අපේ කාර්යභාරය අවසානයි. එහෙම අවසන් කරලා මම කිව්වා මම තවදුරටත් රනිල් පිලේවෙත් සජිත් පිලේවත් නොවෙයි කියලා. එතකොට ඒක තමයි මගේ ස්ථාවරය වුණේ. හේතුව වුනේ එතකොට අපේ වැඩපිළිවෙල ජයග‍්‍රහණය  කරලා තිබුණ නිසයි. යාවජීව නායකත්වය අහෝසි කරලා වසරින් වසර ඡුන්දය තියලා නායකයන් තෝරා ගැනීමේ ක‍්‍රමය අපි ගෙනාවා. ඊට පස්සේ ඡුන්දයට ඉදිරිපත් වෙන වෙලාව  ගත්තොත් මම ඡුන්දය ඉල්ලන්නේ සජිත් පිලේ කියලා නොවෙයි. එහෙමනම් රවී කරුණානායක මහත්මයාටත් කියන්න පුළුවන් මම රනිල් පිලේ නොවෙයි කියලා. එහෙම පිල්වලට බෙදිලා ඡුන්දය ඉල්ලන්නේ නෑනේ. නමුත් මම ජාතික සංවිධායක ධුරයට තරග කළා. මාව යෝජනා කළේ කබීර් හෂීම් මන්ත‍්‍රීතුමා. එතුමා එහෙනම් සජිත් පිලේ නොවෙයිනේ. ස්ථිර කරන්න හිටියේ හැරිසන් මන්ත‍්‍රීතුමා. එතුමා අසනීප වුණ හින්දා ආවේ නෑ. ඒක ස්ථිර කළේ අපේ තලතා අතුකෝරාල මැතිනිය. එහෙම බැලූවත් මම රනිල් පිලේවත් සජිත් පිලේවත් නොවෙයි. නමුත් මේ ගහන්න හදපු වැඩපිලවෙල තුළ මාවත් සජිත් පිලට තල්ලූ කලා. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට එක පැත්තකින් නායක, නියෝජ්‍ය නායක, ජාතික සංවිධායක ඉන්නවා. අනිත් පැත්තෙනුත් නායක, නියෝජ්‍ය නායක, ජාතික සංවිධායක ඉන්නවා. ඒක තමයි මේ තල්ලූ කිරීමට එක හේතුවක් වුණේ.  ඇත්තටම මට එහෙම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. මට ඒ පැත්තේ අයගෙනුත් ඡුන්ද ලැබුණා. මම විශ්වාස කරනවා එහෙම තත්ත්වයක් තිබුණ කියලා. එහෙම එක පැත්තකට තල්ලූ කරලා මේ ලයින් එක හැදුවේ  මේ බෙදීම කරන්න වුවමනා කට්ටිය. හැබැයි මගේ හෘද සාක්ෂිය මම දන්නවා මම කොහේද ඉන්නේ කියලා. හෙට සජිත් පේ‍්‍රමදාස මහත්තයා වැරැුදි තීන්දුවක් ගත්තත් ඒකට විරුද්ධවත් මම නැගී සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්මයා වැරැදි තීන්දුවක් ගත්තත් ඒකට විරුද්ධව මම නැගී සිටිනවා. එයින් අදහස් කළේ මට පිලක් නෑ. ඇත්ත කතාව කවුරුහරි කියනවා නම් ඒ වෙනුවෙන් මම සීයට සීයක් පෙනී සිටිනවා. හැබැයි අපිව රටවන්න හදනවා නම් කවුරුහරි ඒවාට විරුද්ධව සීයට සීයක් අනිත් පැත්තට පෙනී හිටිනවා. ඒක තමයි මගේ ස්ථාවරය. මම හැමදාම කතා කරන්නේ ඒ කාරණය මත ඉඳගෙනයි.   ප‍්‍රශ්නය: සජිත් පේ‍්‍රමදාස මහත්තයා සමග ගිය බොහෝ දෙනකු අතරමංවුණා කියලා ඔබ හිතන්නෙ නැද්ද? මුලින්ම කරු ජයසූරිය මහත්මයා දැන් ඔබද? පිළිතුර: මම එහෙමම විශ්වාස කරන්නේ නෑ. සජිත් මහත්තයා එක්ක ගිය බොහෝ පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට විවිධ ප‍්‍රශ්න ඇවිත් තියෙනවා තමයි. ඒකයි මම කියන්නේ අපේ පක්ෂය ජයග‍්‍රහණය කරා මෙයෙවන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඇවිත් තියෙනවා. ඒකට අපි කරන්න  ඕන එක එක්කෙනාව එළියට විසි කරන එක නොවෙයි. දැන් අද කරන්නේ පුළුවන් තරම් සජිත් පේ‍්‍රමදාස මහත්මයාගේ පිලේ හිටපු මිනිසුන්ට විවිධ චෝදනා නගන එක. ඔවුන් සංවිධායක කම්වලින් අයින් කරන එක. ඔවුන් පලාත් සභා අපේක්ෂකත්වයෙන් ඉවත් කරන එක. ඒ නිසා කරු ජයසූරිය මහත්මා හෝ මම ඒවායින් සැලෙන්නේ නෑ. අපි දෙන්නාවම  පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අයින් කළා. රෝසි සේනානායකව බුද්ධික පතිරණව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්කලා. අපි ඒවායින් සැලෙන මිනිස්සු නොවෙයි. ඔය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයවත්, වෙනත් තනතුරු නම්බුනාමවත් අපට අදාල කාරණා නොවෙයි. කරු ජයසූරිය මහත්මාවත් මම දන්වා. එතුමාත් ඒවා කල්පනා කරන මනුස්සයෙක් නොවෙයි. අපට වුවමනා කරලා තියෙන්නේ පොදුවේ එකට හිට ගන්න පුළුවන්  වැඩපිළිවෙලකට ගොනු වෙන්නයි.   ප‍්‍රශ්නය: අපි ආපහු මුල් කාරණයට යමු. ආණ්ඩුවට එන්න ඔබ කැබිනට් අමාත්‍යධුරයක්  ඉල්ලූවා. ආණ්ඩුවෙන් ඔබට කිව්වේ ”කැබ්නට් ඇමතිකමක් බෑ” වයඹ මහ ඇමැතිකම දෙන්නම් කියලයි. අද මේ ප‍්‍රශ්නය තියෙන්නේ එතැනනේද? පිළිතුර: ඒක එහෙපිටින්ම බොරුවක්. මට  ඕනනම් කැබිනට්  ඇමැතිකමක් ගන්න පුළුවන්. ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නෑ. එකට අවශ්‍ය කරන යෝජනා හා අදහස් ටිකකත් ඇවිල්ලා තියෙන්නේ. වයඹ මහ ඇමැතිකමට යනවා කියන්නේ මගේ තත්ත්වයේ පහතට යාමක්. හැබැයි මම හරි ආසයි වයඹ මහ ඇමැතිකමට යන්න පුළුවන්නම්. එක්සත් ජාතික පක්ෂයෙන්. වයඹ මහ ඇමැතිකම තුලින් විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඉඳලා පළාත් සභාවට ආවම තියෙන ප‍්‍රශ්නය විතරයි මට තියෙන්නේ. යුඑන්පී එකෙන් මම පලාත් සභාවේ මහ ඇමැති වුනොත් මම දන්නවා මට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වගේම ඔය ඔබ කරපු යෝජනාවක් එක්ක ඇත්ත වශයෙන් මට තියෙන ප‍්‍රශ්නය වෙන එකක් නොවෙයි. නායකයන්ගේ ප‍්‍රශ්න නොවෙයි මට තියෙන්නේ. මට තියෙන්නේ ජනතාවගේ ප‍්‍රශ්න. අපිව ආදරයෙන් වැලඳගන්න මිනිස්සු මට නිතරමකතා කරනවා.ඒ මිනිස්සු මට කථා කර කර කියනවා සර් පක්ෂය ඉවරයි. සර් ගියොත් මේ පක්ෂය ඉවරයි. පක්ෂය  කඩා වැටෙනවා. පක්ෂයට යන එනමං නැති වෙනවා. සර් ගියොත් කතා කරන්න කෙනෙක් නැතිව යනවා. අපි මැරෙනවා සර්, කියලා කියන මිනිස්සු ඉන්නවා. සමහරු කියනවා ගියත් කමක් නෑ සර් යන තැනකට අපිත් එනවා. එහෙම කියන මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඔය ඔබ කියන කාරණාවට අනුව මට වඩාත් පහසුම කාරණය තමයි වයඹ මහ ඇමැතිකමට ආණ්ඩුවෙන් එන එක. එතකොට මම එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු මට දීපු ඡුන්දය  ගලවලා කියලා ඒ හැව ඇරීම  ඕනනම් මට වයඹ මහ ඇමැතිකමට යන්න පුළුවන්. නමුත් මට එහෙම වුවමනාවක් නෑ. නමුත් මම ආසයි යන්න.   ප‍්‍රශ්නය: පේන විදියට ඔබ වයඹ මහ ඇමතිකම බාර ගනියි නේද? පිළිතුර: නෑ. වයඹ මහ ඇමැතිකමට මම ආසයි කියලා කියන්නේ මහ ආණ්ඩුවේ කැබිනට් ඇමැති කෙනෙක් කරන වැඩ කොටසට වැඩි වැඩ කොටසක් පූර්වාදර්ශ ඇතිව වයඹ මහ ඇමැති හැටියට  මට කරන්න පුළුවන්කමක්  තියෙනවා. නමුත් එහෙම යන්න තරම් මට වුවමනාවක් නෑ. අද ආණ්ඩුවේ කැබිනට් ඇමති තනතුරක් සම්බන්ධව විවිධ අය කතා කරනවා. නිකම් පිස්සුවෙන් වගේ ගිහින් ඉඳගන්නේ නෑනේ ආණ්ඩුවට යනවානම් නමුත් මම ඒ දෙකම බොහොම පැහැදිලිව ප‍්‍රතික්ෂේප  කරලා තියෙන්නේ. ඒ නිසා බොහොම සාධාරණව මිනිස්සු සාප කරන්නේ නැතිව මට යන්න පුළුවන් බොහොම පහසුම තැන තමයි වයඹ මහ ඇමැතිධුරය. ඒක ජනාධිපතිතුමා කියන්න  ඕන නෑ. ජනාධිපතිතුමාට  ඕන්නම් මට කියන්න පුළුවන් මට වයඹ මහ ඇමැතිකම දෙන්න කියලා. මොකද මට වුවමනාවක් තියෙනවා වැඩක් කරන්න. ජයවික‍්‍රම පෙරේරා මැතිතුමා වසර කිහිපයක් වයඹ මහ ඇමැති හැටියට වැඩ කලා වගේ වැඩ කරන්න පුළුවන්නම් ඒක ලොකු ගෞරවයක් විදියටයි මම සලකන්නේ.  නමුත් මම ඉන්න ස්ථානයේ ඉඳලා පහලට ඒම සම්බන්ධයෙන් තියෙන ප‍්‍රශ්නය විතරයි මට තියෙන්නේ. වෙන ප‍්‍රශ්නයක් මට නෑ.   ප‍්‍රශ්නය: ඔබේ සමස්ත පිළිතුරු තුලම තියෙන්නේ මම පක්ෂයට ආදරෙයි. මට පක්ෂයේ ඉන්න  ඕනෑ. නමුත් මාව තල්ලූ කළා. ඒ නිසා මම ආණ්ඩුවට යනවා කියන ප‍්‍රකාශනය නේද? පිළිතුර: එහෙම එකක් නෑ. මම මගේ ඊළඟ වැඩ කටයුතු ටික තව සතියකින් දෙකකින් පටන් ගන්නවා. මේ ඡන්ද ව්‍යාපාරය තුළ එහෙම ප‍්‍රශ්නයක් නෑ. නමුත් මතක තියා ගන්න  ඕනෑ කාරණය තමයි අපි මේ ආණ්ඩුවට විරුද්ධව බලවේගයනක් හදනවා නම් ඒ බලවේගය ශක්තිමත් බලවේගයක් වෙන්න  ඕනෑ. මේ ආණ්ඩුව නිකම් පෙරලන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ. එතකොට කරන උද්ඝෝෂණ කරන සටන් ව්‍යාපාර පක්ෂයේ වෘත්තිය සමිති, තරුණ සමිති, කාන්තා සමිති ටික හදලා ශක්තිමත්ව මේ පක්ෂය වටා ගොනු කර ගන්න පුළුවන් නම් ඒ වගේම විපක්ෂයේ බලවේග විදියට ඒකාබද්ධ වික්ෂයක් විදියට අපිට සරත් ෆොන්සේකා මැතිතුමන් එකතු කරගන්න පුළුවන් නම් දෙමළ ජාතික සන්ධානයත් එකතු කර න්න පුළුවන්නම්, මුස්ලිම් කොංග‍්‍රසය වැනි විපක්ෂ මේකට එකතු කර ගන්න පුළුවන්නම් ජනතා විමුක්ති පෙරමුණ එක්ක අඩුම තරමින් එකම වේදිකාවකට හරි ගොඩවෙන්න පුළුවන්නම් මේ ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබලම බලවේගය අපට හදා ගන්න පුළුවන්. ඒක ගැන විශ්වාසයකින් ඉන්නවා මිසෙක මාව යැව්වා, මාව තල්ලූ කළා ඒ නිසා මම යනවා කියලා කියන්නේ නෑ. මම යනවා නම් බොහොම පැහැදිලිව කාරණා හදාගන්න  ඕන නෑ. මම ජනතාවට කෙලින්ම කියලා තමයි යන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  දයාසිරි ජයසේකර

සාකච්ඡා කළේ  - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්