මහලු වෙසක් ගෙන පැමිණි කතරගම දෙවියෝ


 13_PAGE_8_T  

 

(ඉකුත් සතිය හා සම්බන්ධයි)


කඳ සුරිඳුන් ප්‍රිය කරන සුදන චර්යාධර්ම මොනවාදැයි හඳුනාගෙන තිබේ. සැබවින්ම දෙවියන් ඉදිරියට එන බැතිමතා තුළ ප්‍රබල පෞරුෂයක් තිබිය යුතුය. නිවටයන්ට උදව් කරනු නොලැබේ. ඊට හේතුව දේවශාන්තියකින් නිවටකම පිසදා දැමීම කළ නොහැකිවීමයි. අසරණ අයට පිහිට වීම ආදී උදාර වූ චර්යාධර්ම කිහිපයක්ම මේවාට ඇතුළත්ය. එක්තරා පුද්ගලයෙකු (දිසාපතිතුමෙකු) විපතකින් මුදවා ගැනීමට කඳ සුරිඳුන් මැදිහත් වූ සත්‍ය සිද්ධියක් දක්වමි. 

 

6
ඒ 1988--89 භීෂණ සමයයි. සති අන්තයේ සිකුරාදා ස්වකීය රාජකාරි නිමවා මේ දිසාපතිතුමා බදුල්ලේ සිට තම නිවස පිහිටි මාතරට යාමට එමින් සිටියා. ඔහුගේ කාරය දැන් තණමල්විල පසුකොට ඉදිරියට එයි. රාත්‍රී අටත් පසුවී ඇති නිසා කලුවර දැඩිය. මේ දිනවල මිනිස් ඝාතනද බහුල විය. සවස හයෙන් පසු මංමාවත් වල මිනිස් පුලුටක්වත් නැත. තරමක ඈතින් පාරේ කවුදෝ හිටගෙන සිටියි. කාරය ළං වෙනවාත් සමගම පාරේ මැද සිටි අයෙකු වහා අයිනට ගොස් කාරයට අත දිග දැමීය. ඒ පන් මල්ලක් අතින් ගත් මහලු අයෙකි. හාත්පස ඝන අඳුරින් වසාගෙනය. හැම අතින්ම පරිසරය බියජනකය. මේ වියපත් මගියා කෙරෙහි දයානුකම්පාවෙන් කාරය නවතා පසුපස දොර ඇර දී ඔහුද හිඳුවාගෙන ඉදිරියට එයි. එතැන සිටම මේ මගියා දිසාපතිවරයා සමග කතා කරයි. කතරගමට වඳින්නට යමුයි දිගින් දිගටම මගියා කියයි. ඔහුගේ කීමට අවනත වූ දිසාපතිවරයා කාරය පන්නගමුව හන්දියෙන් හරවා දිගටම කතරගම පැමිණ රථගාලක රිය නතර කළේය. දෙදෙනාම ගොස් කිරිවෙහෙර වැඳ එයින් පහතට බැස බෝධියට ද වැන්දහ.  ඉන්පසු මහා දේවාලයේ ඉදිරිපස මිදුලේ රැඳී දේවාලය දෙසට හැරී දෙවියන්ට පින් දී දැන් ආපසු එති. මෙකී සියලුම වන්දනා කටයුතුවලදී මහලු මගියා කී පරිද්දෙන් කිරීමට දිසාපතිවරයාට සිදුවිය. දැන් දෙදෙනාම කාරයට නැගී තිස්සමහාරාම දෙසට එති. පාරේ විදුලි පහන් කණුවල එළියෙන් කාරයේ රියදුරුට පසුපස අසුනෙහි සිටින්නා ඉදිරිපස කණ්නාඩියෙන් පෙනේ. දැන් දිසාපතිවරයා සිතනුයේ මාතරට සැතපුම් හැට පහක පමණ දුරක් යාමට ඇති බවත් වේලාව රාත්‍රී දොළහට ආසන්න බවත්ය. ඔහු සුපුරුදු වේගය වැඩි කොට තිස්සමහාරාම චෛත්‍යය පෙනෙන ඉසව්වට පැමිණියේය. නිකමට මෙන් රියදුරු ඉදිරිපස කණ්නාඩියෙන් පසුපස අසුන බැලීය. ඊළග විදුලිකණුව ළඟදී හොඳින් බැලීය. පුදුමයකි. මහලු මිනිසා කාරය ඇතුළේ නැත. දිසාපතිවරයා කාරය නතර කළේය. පසුපස දොර ඇර බලන විට මහල්ලාගේ පන් මල්ල පමණක් අසුන උඩ තිබුණි. පුද්ගලයා තිස්සමහාරාම මහසෑය ආසන්නයේදී අතුරුදන් වී ඇත. එම පන්මල්ලද කිසියම් නිවසකින් ඉවත දමන ලද දිරාපත් එකකි. සිත දැඩි කර ගත් දිසාපතිවරයා ස්වකීය ගමන ආරම්භ කළේය. තංගල්ල ආසන්නයේදී පොලිසිය විසින් කාරය නතර කරන ලදී. ඔවුන් මෙතුමා ගැන විස්තර විමසා ප්‍රකාශ කළේ “සර්, මීට ටිකකට කලින් මෙතනට ආව නම් මේ කාර් එකටත් වෙන්නේ අර වගේ දෙයක් තමා යයි ගිනි තබනු ලැබූ කැබ් රථයක් පෙන්වා ඇත. ඉන්පසු නිරුපද්‍රිතව නිවසට පැමිණි දිසාපතිවරයා ස්වකීය නිවැසියන්ටද කාර්යාලයට ගියපසු එහි කාර්ය මණ්ඩලයටද ප්‍රකාශ කොට තිබුණේ අතරමගදී තමන්ට සිදුවීමට තිබූ මාරකයකින් මා මුදවාගත්තේ කතරගම දෙවියන් මිස අන් කවුරුවත් නොවන බවයි. එදා සිට අද දක්වා සෑම වර්ෂයකම අර මහල්ලා හමුවූ දිනය දාට මේ දිසාපතිවරයා කතරගමට වන්දනාව පිණිස එයි.


සී. කුමාරසූරියර් මහතා විසින් සුරිඳුනි කතරගම 2011 සඟරාවෙහි දක්වනු ලැබ ඇති පරිදි කතරගම දෙවියන් යනු මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින අසාමාන්‍ය දෙවි කෙනෙකි. ඔහු දක්වන කතාව මෙසේය. සෙල්ල කතරගම පදිංචි වැදි තරුණියක වන වල්ලි අම්මා සොයමින් යන කතරගම දෙවියන් වයසක මිනිසෙකුගේ වේශය මවාගත් බව කියයි. එම වයසක මිනිසා අතරමගදී සාමාන්‍ය මිනිසුන් සමග සුහදව කතාබහ කළ බව ද සඳහන් කරයි. වල්ලි අම්මා සොයා ගත් මහල්ලා ඇයව විවාහයට ගනියි.  ඉන්පසුව ඔහු මහලු මනුෂ්‍ය වේශය අත්හරියි. එදා දිසාපතිවරයාට මුණ ගැසුනේද පන් මල්ලක් ගත් මහල්ලෙකි. ඇමරිකාවේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන රත්නායක මහතාද මෙවැනි කතරගම මහල්ලෙකු පිළිබඳව අප සමග කියා තිබේ.


මහාචාර්ය රත්නායක මහතා තමන්ගේ ගම වන තිස්සමහාරාමයට පැමිණ සිටියේ ඇමරිකන් ජාතික මහාචාර්යවරයෙකු සමගය. මෙයින් ඇමරිකන් ජාතික මහාචාර්යවරයාගේ පර්ස් එක කතරගමදී නැති විය. කිරි වෙහෙරට ගොස් ආපසු එන අතරේදී පර්ස් එක නැති බව දැනගෙන තිබේ. එදින සෙනග ද තරමක් වැඩිපුර සිටි බවද පැවසීය. නැවත දෙදෙනාම ගොස් කිරිවෙහෙර අවට සහ පාර දිගට පරීක්‍ෂා කළ නමුත් පර්ස් එක හමු නොවීය. දෙදෙනාම මහ දේවාලයේ මිදුලෙහි රැඳී සිටියහ. ඇමරිකන් ජාතිකයා දැඩි කනස්සල්ලට පත් වී සිටි බවද තමන්ට ලොකු ලජ්ජාවක් ඇති වූ බවද රත්නායක මහත්මා පැවසීය. පුදුමයකි. සෙනග අතරින් පැමිණි වයසක අයෙකු ඇමරිකානු මහාචාර්යතුමාගේ අතට පර්ස් එක දී සෙනග අතරේම නොපෙනී ගිය බවත් එකී පර්ස් එකෙහි තිබූ කිසිවක් අඩු වී නොතිබූ බවත් මහාචාර්ය රත්නායකයන් අපත් සමග කීය. ඉතිහාස කතාවේ වල්ලි අම්මා කරකාරයට ගත්තේද මහලු අයෙකි.


මේ මහ පොළොව අති විශාලය. ඒ කුඩා ජීවීන් වන අපට දැනෙන හැටිය. ඒ එසේ වන්නා සේම පෘථිවිය විශ්වයෙහි ඇති කුඩා තරුවක් පමණි. මේ සූර්යය හා සමාන තවත් සූර්යයන් බොහෝ ගණනක් ඇත. ඒ අනුව තාරුකා ප්‍රමාණයද අති විශාල සංඛ්‍යාවකි. එසේ බලන විට තවත් පෘථිවීන් සහ ජීවින් ද ඉමහත් සංඛ්‍යාවකි. ඒ එසේ නම් එම පෘථිවීන්හි මනුෂ්‍යයන් සිටීමද ඒකාන්තය. මේ අනන්ත වූ විශ්වයද විශ්වයේ ඇති බලයද මේ මෙසේ යයි කොටස් කිරීමට හෝ මිම්මකට ගැනීමට හෝ කළ හැකි නොවේ. ඉතා ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලි මහතාගේ පරීක්‍ෂණ වාර්තා අනුව ජීවීන් වාසය කරන ග්‍රහලෝක ලක්‍ෂ ගණනක් බව පැහැදිලි වෙයි. පොළොවෙහි ද සාගර ජලයෙහි ද වායු ගෝලයෙහිද ජීවත් වන සියලුම ජීවීන් පවා මෙතෙක් හඳුනාගෙන නැත. මිනිස් ඇසට පෙනෙන සහ නොපෙනෙන එහෙත් හඳුනා නොගත් ජීවීහු කෙතරම් සිටිත්ද? තවද ඇසට නොපෙනෙන පමණින් අදෘශ්‍ය සාධක අභෞතික වෙයිද? සියලුම විද්‍යාත්මක ගවේෂණවල ප්‍රධානම  අරමුණ මිනිසුන්ගේ දීර්ඝායුෂය රැකගැනීම සහ සුඛ විහරණය වැඩි දියුණුවයි. එහෙත් එක් ක්ෂණයකින් සියලු ජීවීන් එකවර විනාශ කිරීමට විශ්වයේ ඇති බලයට හැකියාව තිබේ. සත්ත්ව සන්හතියේ අධිකතාව හෝ ඌනතාව හෝ පාලනය කරන්නේද ඒවා සමතුලිතව තබාගන්නේද ස්වභාවධර්මයයි. අනාගත ව්‍යසනයන් පිළිබඳ කිසිදු පෙර නිමිත්තක් නොදක්වා ජීවින්ගේ වැඩි කොටස (මොනයම් අයුරකින් හෝ) විනාශ කොට සමතුලිතතාව ඇති කරනු ලබයි. මෙබඳු අවස්ථාවන්හිදී මිනිසුන්ට පිහිටක් ලබා දී තිබෙන්නේ අදෘශ්‍යමාන බලවේගයන්ය. හදිසි ආපදා සහ විපත්වලින් මිදී සැනසීමක් ලැබුවෝ කඳසුරිඳුන් ඉදිරියෙහි පූජෝපහාර තබා දෙවියන්ට ස්තූති කළහයි විස්තර කතා කියන අය අපට හමුවී තිබේ. 


අවසන් වශයෙන් තව කරුණක් සඳහන් කරමි. යුරෝපීය මනෝවිග්‍රහාත්මක ප්‍රබන්ධ කතාවල සඳහන්ව තිබෙන ගුප්ත බලවේග සහ අසාමාන්‍ය සිද්ධීන් සියල්ලම පාහේ නිර්මාණය වී තිබෙන්නේ සත්‍ය අත්දුටු සිද්ධීන් පාදක කරගෙනය. ඒකී ග්‍රන්ථවල එන පූර්විකාවන්හි ඒ බව සඳහන් වේ. ඒවා නිබොරු නම් කඳ සුරිඳුන් පිළිබඳව සහ එතුමන්ගේ බලපරාක්‍රමය රජයන පුදබිම පිළිබඳව සත්‍ය අත්දුටු දේ ඉදිරිපත් කරන්නට යම් දැනීමක් ලබා සිටිමු. සැමට කඳ සුරිඳුන්ගේ දේව ශාන්තිය ද ආරක්ෂාවද ලැබීමෙන් සැනසීම හා සතුට ලැබේවා යනු අපගේ ප්‍රාර්ථනයයි.

m