රූකාන්ත - චන්ද්‍රලේඛාට හිරිහැර කළ ජනපති රැකවලූන්ගේ ඉරණම ?


ජනප‍්‍රිය ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව ඇතුළු වී ඔවුනට අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා නවයක් එල්ල වී ඇති හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනපති ආරක්‍ෂක අංශයේ හිටපු පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ලබන බදාදා (24) දක්වා රිමාන්ඞ් කරන ලෙස පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.

පානදුර මහාධිකරණයේ  පැවැති දීර්ඝ නඩු විභාගයක් පසුගිය 17 වැනිදා අවසන් කළ අතර එහි තීන්දුව ලබන බදාදා ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.
රූකාන්ත හා චන්ද්‍රලේඛා දක්‍ෂ ගායකයෝය. ඔවුන් පදිංචිව සිටියේ පොල්ගස් ඕවිට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසකය. 2000 ජනවාරි 26 වැනිදා රුකාන්ත හා ඔහුගේ බිරිය චන්ද්‍රලේඛාට අමතරව දරු දෙදෙනා ද රූකාන්තගේ නැන්දනිය ද නිවසේ සිටියහ.

රාත‍්‍රී අටට පමණ ඔවුන් නොසිතූ දෙයක්ම විය.

පිරිසක් නිවසට කඩා වැදුනාහ. අවිගත් 20ක් 25ක් එහි සිටින්නට ඇත. ටී. පනස් හය හා පිස්තෝල රැගෙන කළු ඇඳගෙන ආ මේ පිරිස පැමිණි වාහන අතර සුදු කාරයක් ද විය.

නාඳුනන සන්නද්ධ කල්ලියේ නායකයා රූකාන්තට විධානයක් කළේය.

‘සද්ද නැතුව හිටපන්. අතනින් වාඩිවෙයන්’ ඔහුගේ පිස්තෝලය රූකාන්තගේ ඔළුවට එල්ල වී තිබිණි.

‘අපි සී.අයි.ඞී.යෙන්’ නායකයා එසේ ගුගුළේය.

රූකාන්ත, පානදුර හිටපු මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් පැවසුවේ තමා දැන් දැන් මරා දමනු ඇති බව සිතූ බවයි. හොඳටම බියට පත් වූ බවයි. තමා කෙතරම් බියට පත් වීදැයි කිවහොත් ප‍්‍රසිද්ධියේ කිව නොහැකි දෙයක් සිදු වූ බව පසුව පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු අනාවරණය කර තිබිණි. ‘මට ඉබේම මුත‍්‍රා ගියා’ යනුවෙන් ඔහු පවසා තිබිණි.

ඒ මරණ බය මැද්දේ වුවත් ඔහුගේ මතකය හොඳින් තිබිණි. හිසට පිස්තෝලය එල්ල කළ පුද්ගලයා යළි දුටුවොත් හඳුනාගත හැකි බව ඔහු නඩුවේදී කීවේය. එහෙත් එදින උසාවියේ විත්ති කූඩුවේ සිට 11 දෙනා අතර ඔහු නොසිටි බව ද රූකාන්ත කීවේය.

මේ සන්නද්ධ මැරයෝ රූකාන්තගේ නිවසින් රුපියල් ලක්ෂ එකහමාරක රන් බඩු පැහැර ගත්හ. රුපියල් ලක්ෂ 35ක් වටිනා නිසාන් ජීප් රථය ද පැහැර ගත්හ. රෙදි පිළි, අත් ඔරලෝසු හා ජංගම දුරකතන ද පැහැර ගත්හ.

එයින් ද නොනැවතුණු ඔව්හු රූකාන්ත, චන්ද්‍රලේඛා යුවළ ගෙයි මැද දණ ගැස්වූහ. එක් මැරයෙක් නිවසේ තිබූ කතුරක් සොයා ගත්තේය. චන්ද්‍රලේඛාගේ දිග කෙස් කළඹ කපන්නට විය. කෙස් කළඹ කපද්දී චන්ද්‍රලේඛා ඇසුවේ ‘අනේ මගේ කෙස් කපන්න එපා, ඔබටත් මං වගේ සහෝදරියෝ නැද්ද’ යනුවෙනි. එහෙත් මැරයාගේ හිත උණු නොවිණි. ඇය ආදරයෙන් එතෙක් කල් රැුකගත් කෙස් කළඹ ඇයට අහිමි විය. රූකාන්තගේ කොණ්ඩය ද තැනින් තැන කැපූහ.
ඉන් පසු මැරයෝ ඔවුන් දෙදෙනාගේම හිසට භූමිතෙල් වක් කළහ නිවසට ද පෙට‍්‍රල් වක් කළහ.

දරු දෙදෙනාම මේ බිහිසුණු සිද්ධිය දුටහ. ඔවුන්ට වූ බිය වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔව්හු කෑ ගසන්නට වූහ. ආදරණීය මව  සහ පියා මරා දමතියි ඔවුනට හැෙඟන්නට ඇත. කළ හැකි කිසිවක් නොවූ නිසා ඔවුන් මහා හඬින් කෑගැසුවේ ඒ නිසාය. මැරයෝ ඉන්පසු දරු දෙදෙනා කාමරයකට දමා දොර වැසූහ.

රූකාන්ත හා චන්ද්‍රලේඛාට මෙවැනි දෙයක් කරන්නට ඔවුන් කළ එකම වරද ඔවුන් නිවැරදි යැයි සිතූ දේශපාලන පක්‍ෂයට සහය දැක්වීමය. ඒ එක්සත් ජාතික පක්‍ෂයේ වේදිකාවේ ගී ගැයීමය.

‘උඹලා යූ ඇන් පී වේදිකාවට නැග්ගේ ඇයි?’ යනුවෙන් මැරයෙක් විමසූහ.

රූකාන්තගේ පිළිතුර වූයේ ගායකයන් විදියට ගී ගායනා කළ බවයි.

ඒ පිළිතුර මැරයන්ගේ සතුටට හේතු වූයේ නැත. ඔවූහු තව තවත් හිරිහැර කළහ.

රූකාන්ත කීවේ එක් සැකකරුවෙකු තමාගේ ජංගම දුරකතනය සාක්කුවට දමා ගනු දුටු බවයි. මැරයන් ගේ වනසා ගිය පසු අසල් වැසියෝ එහි ආහ. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඩයස්ගේ බිරිය ද එහි ආවාය.  ඔවුන් පදිංචිව සිටියේ ඒ අසළය.

ඉන් පසු කහතුඩුව පොලීසිය ද පැමිණි අතර පොලීසියේ මුල්ම ප‍්‍රශ්න වූයේ ‘මේක ගෙදර ආරවුලක් ද?’ යනුවෙනි.

පොලීසියෙන් සාධාරණය ඉටුනොවන බව රූකාන්තටත් චන්ද්‍රලේඛාටත් තේරිණි. එහෙත් ඔවූහූ තමනට සිදුවූ සියල්ල පොලීසියට විස්තර කළහ.
පැහැරගත් ජීප්රිය පාරක් අයිනේ අතහැර දමා තිබිය දී  සොයා ගැණුනු අතර, එහි සීට් කපා අමතර කොටස් ගලවාගෙන බරපතල හානි කර තිබිණි.
තමනට සිදුවූ මුළු අලාභය ලක්‍ෂ පනහක් හැටක් වූ බව රූකාන්ත පැවසීය. දරු දෙදෙනාටත් තමන්ටත් වූ මානසික පීඩනය ඒ සියලූ ආලාභයන්ට වඩා වැඩිය යනුවෙන් ඔහු කීවේය.

පසුව රහස් පොලීසිය පරීක්‍ෂණ බාරගත් අතර ඔවුන් අනාරවණය කර ගත්තේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් මේ සිද්ධියට හවුල් වූ බවය.

දීර්ඝ විමර්ශණයකින් පසු රහස් පොලීසිය සැකකරුවන් 11 දෙනකු හදුනා ගනු ලැබූ අතර නීතිපතිවරයා සැකකරුවන්ට විරුද්ධව පානදුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කැරිණි.

නීති විරෝධී ලෙස අයුතු ජනරාශියක සාමාජිකයින් වී පොදු අරමුණක් ඉටුකර ගැනීම සඳහා රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව 2000 වසරේ ජනවාරි මස 26 වැනිදා කඩාවැදී ඔවුනට අඩන්තෙට්ටම්  සිදුකර රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක් වටිනා රන් අභරණ සහ රුපියල් තිස්පන් ලක්‍ෂයක් වටිනා ජීප් රථය ද පැහැරගෙන යාම ඇතුළු චෝදනා නවයක් ඔවුනට එල්ල විය.

ඊ.බී. මධුෂාන් කුමාර, ඩබ්.ඞී. නිහාල් විජේසිංහ, සරත් කුමාර රූපසිංහ, ජේ. කරුණාසේන ජයලත්, පී.ජී. ලෙස්ලි චන්ද්‍රතිලක, ඞී.ඒ. අතුල සේනාරත්න, ආර්.පී.ඞී. සෝමරත්න, ආර්. ධර්මසිරි, බී.ලලින්ද රාජරත්න, ඊ. සම්පත් රණසිංහ සහ බී.ඒ. උපාලි ආරියදාස එම විත්තිකරුවෝය.

ඒ 11 දෙනාම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්‍ෂක ඒකකයට සම්බන්ධ අයයි. රටේ ඉහළම ප‍්‍රභූ ආරක්‍ෂක සේවයකට එරෙහිව එල්ල වූ බරපතල චෝදනාවක් වශයෙන් මෙය ඉතිහාසයට එක් වෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්‍ෂක අංශයට එල්ල වූ එකම කළු පැල්ලම ද එය නොවේ.

කෙසේ වෙතත් දීර්ඝ නඩු විභාගයකින් පසු පසුගිය බදාදා (17) නඩු විභාගය අවසන් කළ අතර විනිසුරුවරිය ලබන බදාදා (24)  නඩු තීන්දුව දීමට නියමිත නිසා සැකකරුවෝ එතෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

සිද්ධිය වූ වකවානුවේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් මේ සිද්ධියේ නඩු තීන්දුව දෙස රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළගේ රසිකයන් පමණක් නොව සාධාරණය පතන බොහෝ පිරිසක් බලා සිටිති.

 

 තරිඳු ජයවර්ධන