කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගමට සම්බන්ධ විය. අනතුරුව හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ රැලියක් පිටකොටුවේ දී පැවැත්වූ අතර මෙහි දී යෝජනා කර ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියෙහි අංක 61 දරණ ස්ථානයෙහි බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නමින් 1886 නොවැම්බර් මස පළමුවැනිදා ආනන්දයේ ආරම්භය සිදුව ඇත.
සිසුන් 37 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවෙහි පළමුවන විදුහල්පතිවරයා වූයේ ඉංග්‍රීසි ජාතික සී.ඩබ්. ලෙඩ්බීටර් පියතුමා ය. පිටකොටුවෙහි මැලිබන් වීදියෙහි සමාරම්භය සිදු කෙරුණු අතර බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නම් මෙම විද්‍යස්ථානය කලක් ගත වන විට ඉඩ කඩ සීමා වීම නිසා කුමාර වීදියටත් ඉන්පසුව 1895 අගෝස්තු මස 07 වැනිදා වාසලමුදලි ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාට අයත් පරණවාඩිය නමින් හැඳින්වෙන වර්තමාන ස්ථානයෙහි ආනන්දය පිහිටුවනු ලැබීය.
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශීය ආක්රමණවලින් දුක් ගැහැට විඳි සිංහල බෞද්ධයාට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමේ අරමුණෙන් ඇරඹුණු මෙම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආනන්ද මහරහතන් වහන්සේගේ නාමය අනුස්මරණය කරමින් “ආනන්දය” යන නමින් නම් කිරීමට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා හික්කඩුවේ සුමංගල යන නාහිමිවරුන් විසින් තීරණය කරනු ලැබීය.
බෞද්ධකමත්, දේශීයත්වයත් සුරකිමින් ඉහළම අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඇරඹි මෙම විද්‍යාස්ථානයෙහි විදුහල්පති ධුරය දැරූවන් අතර ඒ.ඊ. බුල්ජන්ස්, ජේ.ටී. ඩේව්ඩිස්, එම්.ඩබ්. මුවර්, ෆ්රිට්ස් කූන්ස් ආදී විදේශිකයෝද වූහ. ආදි කර්තෘන් සිහිපත් කරන අද වන් දිනෙක අප ඉතා ගෞරවයෙන් කෘතවේදීව ඔවුන් සැමදෙන සිහිපත් කරන්නෙමු.
ඉන් පසුව විදුහල්පති ධුරය දැරූවන් අතර ආනන්දයෙහි ආදි ශිෂ්‍යයෙකු වූ සර් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක විදුහල්පතිතුමන්ගේ පරිපාලන කාලය ආනන්දයේ විශේෂ කාල පරිච්ඡේදයක් විය.
1918 වර්ෂයෙහි විදුහල්පති ධුරයට පත් පී. ද ඇස්. කුලරත්න විදුහල්පතිතුමාගේ පැමිණීම ආනන්ද ඉතිහාසයෙහි නව යුගයක ආරම්භය විය.
විද්‍යාලයෙහි උන්නතිය වෙනුවෙන් කැපවූ පී.ජී. මලලසේකර, එල්.එච්. මෙත්තානන්ද ආදී වූ ආදි විදුහල්පතිවරුන් සැම මෙවන් දිනක කෘතවේදීව සිහිපත් කරන්නෙමු. විදුහල්පති ධුරය දැරූවන් අතර ජී.ඩබ්. රාජපක්ෂ යුගය ද ඉතිහාසයට අයත් වන තවත් විශේෂිතම කාලපරිච්ඡේදයකි.
ආනන්දය අද පවතින තත්ත්වයන්ට පත් කරන්නට අවවාද අනුශාසනා කරමින් කටයුතු කළ සංඝ පීතෲන් වහන්සේලා ද මෙහි දී කෘතවේදීව සිහිපත් කරන්නෙමු. ඒ අනුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්රය නාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, කොටගම වාචිස්සර නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාසේකර අනුනාහිමි, හබරකඩ ඉන්දරතන නාහිමි යන යතිවරයන් වහන්සේලාගෙන් සිදු වූ සේවය අනුපමේය වේ.
ආදි ආනන්දීය බෞද්ධ සංගමය පිහිටුවමින් විද්‍යාලයට මහත් සේවාවක් සිදු කරන කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ගෞරවාර්හ දිවියාගහ යසස්සි නාහිමියන් ඇතුළු විශ්‍රාමික සියලු ධර්මාචාර්යයන් වහන්සේලාට දීර්ඝායුෂ පතමු.
වර්තමානයෙහි ආනන්දයේ නව විදුහල්පති ධුරය හොබවනුයේ ඩී.එම්.එල්.පී. දිසානායක විදුහල්පතිතුමන් ය. එතුමා කලක් විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසත් වැඩබලන විදුහල්පතිවරයෙකු ලෙසත් සේවය කර ඇත.
විද්‍යාලයේ භෞතික සම්පත් දියුණුවට මෙන්ම මානව සම්පත් සංවර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 වර්ෂයේ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනෙන්ම විශිෂ්ටතමයා බවට පත් වීමට ආනඳ පුතෙකු සමත්වීම ආනන්ද මාතාව ලැබූ අභිමානයකි.
වර්තමානය වන විට ආනන්දයෙහි හත්දහසකට වැඩි සිසුන් ප්‍රමාණයක් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනු ලබන අතර ජර්මන්, හින්දි, ප්‍රංශ, ජපන්, කොරියානු සහ චීන ආදි විදේශීය භාෂාවන් මෙන්ම පාලි, සංස්කෘත යන පෙරදිග භාෂාවන් 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගැන්වීම සිදු කරනු ලැබේ.
වර්තමානය වන විට ආනන්දය ක්‍රීඩා රැසකින් ජයග්‍රහණ රාශියක්ම ලබා ගත් අතරම ජාතික ශිෂ්‍ය භට ශූරතාවය වන හර්මන් ලූස් ජයග්‍රහණය වසර ගණනාවකට පසුව ආනන්දයට හිමි වීමද මෙහිදී සුවිශේෂී ජයග්‍රාහණයක් ලෙස සඳහන් කළ යුතුමය. ආනන්දය යනු තවත් විද්‍යාලයක්ම නොවේ. එය සුවිශේෂී වූ හර පද්ධතියකට යටත්ව, සම්ප්‍රදායන්ට ගරු කරමින් රටට අවශ්‍ය ජාතික නායකත්වය සඳහා විශිෂ්ට නායකයන් තනන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකේ.
1884 ජනවාරි මස පළමු වැනිදා සරසවි සඳරැස පුවත්පතෙහි සඳහන් වන පරිද්දෙන්ම සිංහල බෞද්ධයන් ගේ බූදලයක් ලෙස සැළකෙන ආනන්දය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට දේශමාමක බොදුනුවන් නොවිඳි ගැහැටක් නැති තරම්ය.
(***)
ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති
රම්මල ධම්මරක්ඛිත හිමි