සිංහ කොඩිය රැගෙන පිටසක්වලට යන චන්ද්‍රිකාව


ගල් සහ මැටි භාවිතා කරමින් ලොව මහා සාගර පරදන විශ්මිත වූ මහ වැව් තැනූවෝ ශී‍්‍ර ලාංකිකයෝය. අහසට උසට දාගැබ් තැනුවේ ද නව මහල්, සත් මහල් ප‍්‍රාසාද කරවූයේ ද ශී‍්‍ර ලාංකිකයෝය. එහෙත් යුරෝපීයයන්ගේ පැමිණීමෙන් අප පරාධීන ජාතියක් වීමත් සමගම නවීන තාක්ෂණික ක‍්‍රමෝපායයන් මේ කුඩා දුපතට ලගා වූයේ නැත. යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයට හවුල් වන්නට අපට අවස්ථාව ලැබුණේ ද නැත. මේ නිසාම නවීන තාක්ෂණය හමුවේ අපි බොහෝ පසුගාමී ජාතියක් බවට පත්වීමු. ශී‍්‍ර ලාංකිකයකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා ලොව මුල් වරට ඉදිරිපත් කළ චන්ද්‍රිකා තාක්ෂණයෙන් විපුල ඵල නෙළා ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අභ්‍යාවකාශය ජය ගනිද්දී අපි සුසුම් ලමින් බලා සිටියෙමු. ඇමෙරිකාව හඳට ගොස් පස් ගෙන එද්දී අපේ විද්‍යාඥ සිරිල් පොන්නම්පෙරුම මහතා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූයේය. යුරෝපයීයයෝ පරිගණකයත් අන්තර්ජාලයත් බිහිකර ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්කරද්දී ඒවාට අවශ්‍ය විවිධ මෘදුකාංග නිපදවීමට අපේ තරුණයෝ සමත් වුව ද ඒ සියල්ලේ අයිතිය විදේශීයයන් සතුව තිබිණි. මේ දැවැන්ත තාක්ෂණික මෙවලම් වෙත දුපත් වාසී ශී‍්‍ර ලාංකිකයන්ට කිසිදු දිනක ළ`ගා විය නොහැකියැයි බොහෝ දෙනකු සිතූහ. අභ්‍යාවකාශය ජයගැනීම, චන්ද්‍රිකා තාක්ෂණය යන විෂයයන් අපට බොහෝ දුරින් ඇතැයි ද ඒ වෙත කිසිදිනක ළ`ගා විය නොහැකි යැයි ද පිළිගත් මතය වී තිබිණි. තව දින කිහිපයකින් අපි අභ්‍යාවකාශය ද ජයගන්නෙමු. ඒ අපේම වූ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යවා එය ශී‍්‍ර ලංකාවට ඉහළ අහසේ ස්ථානගත කිරීමෙනි. තවත් නොබෝ දිනකින් මේ චන්ද්‍රිකාව ලෝක සන්නිවේදන ක්ෂේත‍්‍රයේ ශී‍්‍ර ලාංකීය සලකුණ තබනු ඇත. ‘‘ඔව් අපටත් පුළුවන්’’,  ‘‘අපටත් කළ නොහැක්කක් නැත’’ යන තේමාවන් පෙරදැරිව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යැවීමේ භාරදුර වගකීම කර මතට ගන්නා ලද්දේ සුපී‍්‍රම් සැට්  පුද්ගලික සමාගමයි. මෙය පුද්ගලික සමාගමක ව්‍යාපාරයක් නොව ජාතික වශයෙන් මෙන්ම ආසියානු කලාපීය වශයෙන් ද වැදගත් වූ කාර්ය භාරයකි. මේ පිළිබඳ අදහස් දැක්වූ සුපී‍්‍රම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා මෙසේ කීවේය. ‘‘වෙළඳ භාණ්ඩ තොග වෙළඳාම විශාල පරිමාණයෙන් කරගෙන යාම සඳහා අප ආයතනය ස්ථාපිත කර තිබෙනවා. මෙයට යූරියා, ගල් අගුරු, තාර, පී.වී.සී. සහ යපස් වැනි ද්‍රව්‍ය තොග වශයෙන් අළෙවි කිරීම අන්තර්ගත වනවා. කලාපයේ ප‍්‍රධාන ආයතන ගණනාවකට සැපයුම්කරුවකු ලෙස සේවය ලබාදෙන අප ආයතනය එම ව්‍යාපාරවලට අමතරව ප‍්‍රතිරක්ෂණය, ආයෝජනය, ඛණිජතෙල් ගවේෂණය, කැණීම් හා උපදේශන සේවා සැපයීම යන කටයුතුවලත් නිරතව සිටිනවා. මෙහිදී අපට වැදගත් වන්නේ ශී‍්‍ර ලංකාව ලෝකයේ වැදගත් ස්ථානයක පිහිටා තිබීමයි. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී අපේ රටට අත්‍යාවශ්‍යව තිබූ චන්ද්‍රිකා තාක්ෂණය ශී‍්‍ර ලංකාවට ලබාදීමේ කාර්යයට අත ගැසීමට අපි තීරණය කළා. මේ එහි ප‍්‍රතිඵලයයි.’’ සභාපතිවරයා පවසන්නේ යුද්ධය අවසන් වීමත් සමගම ඉතාමත් සීඝ‍්‍ර සංවර්ධනයක් අපේක්ෂා කළ ද බලාපොරොත්තු වූ තරම් වේගයෙන් එම ඉලක්කයන් කරා ළගාවීමට ව්‍යාපාරික ක්ෂේත‍්‍රය අපොහොසත් වී ඇති බවයි.  රටේ සමස්ත සංවර්ධනයට තොරතුරු තාක්ෂණය වඩාත් අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇති බැවින් එම ක්ෂේත‍්‍රයේ ආයෝජනය තුළින් වඩාත් වේගවත් සන්නිවේදන ක්ෂේත‍්‍රයක් ගොඩනගා රටේ සංවර්ධනයට මනා දායකත්වයක් ලබාදීම තම අරමුණ වූ බව ද හෙතෙම පෙන්වාදෙයි. චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගතකිරීමේ අවශ්‍යතාවත් එයට ආයෝජනය කිරීමේ හැකියාවත් තමන් සතු වුවද ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ශී‍්‍ර ලංකාවේ නොමැතිවීම සුපි‍්‍රම් සැට් ආයතනය මුහුණ දුන් ප‍්‍රධානතම ගැටළුවක් විය. මේ සඳහා ඔවුන් ප‍්‍රථමයෙන් යොමුවූයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් දෙසට වුව ද ශී‍්‍ර ලංකාවේ මිනිසුන් තමන්ගේ රටට චන්ද්‍රිකාවක් අවශ්‍යයැයි කරන ලද ඉල්ලීම ඔවුන් පිළිගැනීමට සූදානම් වූයේ නැත. මේ අවස්ථාවේ චීනයේ චයිනා ගේ්‍්‍රට්වෝල් ඉන්ඩස්ටී‍්‍රස් කෝපරේෂන් නමැති ආයතනය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගතකිරීමට අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සැපයීමට ඉදිරිපත් වූයේ මෙරට බලාපොරොත්තු සඵල කරමිනි. චයිනා සැටලයිට් කොමියුනිකේෂන්ස් කොම්පැනි ලිමිටඞ් නමි චීන රජය සතු චන්ද්‍රිකා අළෙවිකරණ සමාගමක් හා එක්ව සමූහ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක වන මෙම චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු කරන ලද්දේ ප‍්‍රංශයේ තේල්ස් ඇලිනියා ස්පේස් නමැති සමාගමයි. මේ සඳහා ඇමෙරිකන් ඩොලර් කෝටි 36 ක් හෙවත් රුපියල් කෝටි 4752 ක් වැය වී තිබේ. ආයෝජනයෙන් හරි අඩක් ශී‍්‍ර ලංකාවේ සුපි‍්‍රම් සැට් ආයතනය විසින් දරනු ලබන අතර ඉතිරි මුදල ආයෝජනය කැර ඇත්තේ චීනයයි. මේ  අනුව චන්ද්‍රිකාවේ හිමිකම ශී‍්‍ර ලංකාවට සහ චීනයට සම සමව අයත්වී තිබේ. නොවැම්බර් මස 22 වැනි දින චීනයේ සීවෑන්ග් අභ්‍යාවකාශ විහිදුම් මධ්‍යස්ථානයේදී මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබිණි. එහෙත් චීනයේ අයහපත් කාලගුණ තත්ත්වය නියමිත දිනයේ මෙය අභ්‍යාවකාශ ගත කිරීමට හරස් වූයේය. සුපි‍්‍රම් සැට් ආයතනය පවසන්නේ අයහපත් කාලගුණය මෙන්ම තවදුරටත් තාක්ෂණික පිරික්සුම් කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති බැවින් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම දින පහකින් පමණ ප‍්‍රමාද කිරීමට සිදුවූ බවයි. ‘‘ ලෝන්ග් මාර්ච් ’’ නම් රොකට්ටුව භාවිතා කරමින් සිදුකරන මෙම අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු පෘථිවියේ සිට කිලෝ මීටර 35,790ක් ඉහළ භූ ස්ථාවර කක්ෂයේ ස්ථානගත කිරීමට නියමිතව තිබේ. චීනයේ රොකට්ටුවක ආධාරයෙන් චන්ද්‍රිකාව කක්ෂගත කරනු ලබන අතර පෘථිවිය වටා පිහිටි පහළ කක්ෂයට එය මුදා හරිනු ලබයි. අනතුරුව ඉලිප්සාකාර පථයක ගමන් කරමින් වඩාත් ඉහළින් පිහිටි භූ ස්ථාවර කක්ෂය වෙත ගමන් කිරීමට නියමිතය. චන්ද්‍රිකාව ශී‍්‍ර ලංකාවට ඉහළින් දේශාංශ 87.5 හි රැඳවීමෙන් පසු එය පෘථිවිය භ‍්‍රමණය වන වේගයෙන් ම ගමන් කිරීම හේතුවෙන් එකම ස්ථානයක ස්ථාවරව තිබෙනු ඇත. ශී‍්‍ර ලංකාව මේ දක්වා සිය සන්නිවේදන කටයුතු සඳහා ප‍්‍රයෝජනයට ගන්නා ලද්දේ දේශාංශ 50 පමණ ප‍්‍රදේශයේ රඳවා තිබූ චන්ද්‍රිකා කිහිපයකි. නමුත් ඉදිරියේදී තම රටට ඉහළින් කක්ෂගත කරනු ලබන චන්ද්‍රිකාව භාවිතා කළ හැකිවීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ සන්නිවේදන කටයුතු වඩාත් වේගවත් හා දියුණු තලයකට පත්කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ශී‍්‍ර ලංකා ජාතික ධජය සාඩම්බර ලීලාවෙන් දරාගෙන සිටින මේ චන්ද්‍රිකාව භාවිතා කරමින් ශී‍්‍ර ලංකාව ආසන්න දකුණු ආසියානු කලාපයට මෙන්ම මධ්‍යම ආසියාවටත් සේවා සැපයීම සුපී‍්‍රම් සැට් ආයතනයේ අපේක්ෂාවයි. ඍජුවම නිවසටම රූපවාහිනී දර්ශන ලබාදීමේ සේවාව මෙම චන්ද්‍රිකාව සතුව ඇති අතර ඒ සඳහා කේ.යූ, ට‍්‍රාන්ස්පොන්ඩර්ස් හෙවත් සම්පේ‍්‍රෂණ ප‍්‍රතිචාරක නම් තාක්ෂණය යොදාගෙන තිබේ. මේ වනවිට ලෝකයේ ඉතාමත්ම සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන මෙම තාක්ෂණයෙන් චන්ද්‍රිකාව සමන්විත වී තිබීම හේතුවෙන් එහි සේවාව ලබා ගැනීමට රටවල් සහ ආයතන රැසක් දැනටමත් ඉදිරිපත් වී තිබේ. එම සේවාවට අමතරව වීඩියෝ දත්ත හුවමාරුව, විකාශනය, පුළුල් කලාපීය අන්තර්ජාල පහසුකම් මෙන්ම සන්නිවේදන අවකාශ සපයනු ලබන මෙම චන්ද්‍රිකාව මගින් ඉදිරි වසර තුනත් පහත් අතර කාලයේදී ඇමෙරිකන් ඩොලර් කෝටි 32 ක ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙන බව සුපි‍්‍රම් සැට් ආයතනය පවසයි. ඔවුන් පවසන්නේ චන්ද්‍රිකාව අවම වශයෙන් වසර 15ක පමණ කාලයක් අභ්‍යාවකාශයේ රැඳී සිටිමින් සේවාවන් ලබාදෙනු ඇති බවයි. මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යැවීමත් සමග ශී‍්‍ර ලංකාව චන්ද්‍රිකා තාක්ෂණය සතු ලොව 45 වැනි රට බවට පත්වේ. දකුණු ආසියාවේ ශී‍්‍ර ලංකාවට පෙර චන්ද්‍රිකා තාක්ෂණය හිමි රටවල් වූයේ ඉන්දියාව සහ පකිස්ථානය පමණි. සුපි‍්‍රම් සැට් සමාගම චන්ද්‍රිකාවක් හිමි ලොව 27 වැනි සමාගම බවට පත්වේ. ශී‍්‍ර ලංකාවේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් මෙතෙක් ස්ථාපිත කර නොමැති බැවින් මෙම චන්ද්‍රිකාවේ පාලන කටයුතු සිදුකරන්නේ චීනයෙනි. සුප‍්‍රිම් සැට් ආයතනය පල්ලේකැලේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු යොදා ඇත. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් කෝටි 2 ක් හෙවත් රුපියල් කෝටි 264 ක් ආයෝජනය කැර තිබේ. එලෙස ඉදිවන චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ දී ශී‍්‍ර ලාංකිකයන්ට තම රැකියාවේ නිරත වෙමින් ම අභ්‍යාවකාශ තාක්ෂණය පුරුදු පුහුණු වීමේ අගනා අවස්ථාවක් උදාකැර දී තිබේ. අභ්‍යාවකාශ විහිඳුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට තරම් ඉතාමත් සුදුසු ස්ථානයක ශී‍්‍ර ලංකාව පිහිටා ඇතත් එය ඉතා වියදම් අධික කටයුත්තක් සහ දැනටත් ලෝකයේ ඇති අභ්‍යාවකාශ විහිඳුම් මධ්‍යස්ථාන ප‍්‍රමාණවත් තරම් පිහිටා ඇති බැවින් එවැන්නක අවශ්‍යතාවක් නොමැත. නමුත් ශී‍්‍ර ලංකා රජය තම ආයතනයෙන් එවැනි මධ්‍යස්ථානයක් ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහා වුව ද ආයෝජනය කිරීමට තමන් නොපැකිලව ඉදිරිපත්වන බව ද සුපි‍්‍රම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. ”ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමට රජයට දැඩි උවමනාවක් තිබෙනවා. එම ගමනේදී අපේ මෙම දායකත්වයත් වැදගත් වේවි. විශේෂයෙන්ම රෝහිත රාජපක්ෂ මහතා මේ කටයුත්ත සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් කටයුතු කරනවා. අභ්‍යාවකාශ ඉංජිනේරු ක්ෂේත‍්‍රයට ශී‍්‍ර ලංකාවෙන් එකතුවූ අති දක්ෂ පුද්ගලයකු වන එතුමා තම පුද්ගලික ඉලක්කයන් පවා පසෙක තිබියදී මේ ව්‍යාපෘතිය සාර්ථක කැර ගැනීමට විශාල උනන්දුවකින් කටයුතු කළා. ශී‍්‍ර ලංකාවේ අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයේ නව දොරටු විවර කිරීම සඳහා රෝහිත රාජපක්ෂ මහතා දැක්වූ දායකත්වය අපි කෘතවේදීව සිහිපත් කළ යුතුයි.” මෙම බ‍්‍රහස්තින්දා අභ්‍යාවකාශයට යැවූ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම චන්ද්‍රිකාව 2013 වර්ෂයේ ජනවාරි සිට තම සේවා ලබාදීම ආරම්භ කරනු ඇත. 2013 ජුනි මාසයේදී ශී‍්‍ර ලංකාව හා චීනය එක්ව අභ්‍යාවකාශ ගතකරනු ලබන දෙවැනි චන්ද්‍රිකාව මුදාහැරීමට නියමිත අතර අනතුරුව 2015 දෙසැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවට පමණක් හිමිකාරීත්වය ඇති චන්ද්‍රිකාව මුදා හැරීමට නියමිතව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රෝහිත රාජපක්ෂ මහතාගේ තාක්ෂණික මග පෙන්වීම සහ සහයෝගීත්වය සහිතව සිදුකරන මෙම ව්‍යාපෘතිය තුළින් ශී‍්‍ර ලංකාව පෙර නොවූ විරූ තාක්ෂණික දියුණුවකට ගෙන යා හැකි බව ව්‍යාපෘතියට දායක වී සිටින සැමගේ අපේක්ෂාව වී තිබේ. ‘‘අපට නොහැක්කක් නොමැත’’ යන්න වචනයෙන් නොව කි‍්‍රයාවෙන් සනාථ කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
සටහන සහ ඡායාරූප - සජීව විජේවීර
සුපි‍්‍රම් සැට් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්.එම්. මනිවන්නම්