ඉන්දික රජින්ත ලක්මාල් යනු දෙස් විදෙස්හි බටනළාවෙන් දස්කම් පානා නැතුවම බැරි වාද්‍ය ශිල්පියෙකි. මෑතක බිහිවූ නිර්මාණ බොහොමයකම පාහේ වාදනයෙන් දායක වන ඔහුට සංගීත භාණ්ඩ වාදනයෙන් තොරව ස්වර ප්‍රස්තාර ලිවිය හැකිය. මෑතකදී සිය නිර්මාණ සමුච්චයක් එළිදැක්වීමට අපේක්ෂාවෙන් සිටින ඔහු සමගිනුයි මේ කතාබහ.
නව නිපැයුම්
දැනට අඩි හයක් දිග බටනළාවක් නිර්මාණය කර තිබෙනවා. අනතුරුව අඹ අත්තක් ඉතුරු කරලා අඹ අත්ත තියෙද්දීම බටනළාවක් නිර්මාණය කළා. අනතුරුව ඉටිවලින් නිර්මාණයක් කළා. අනතුරුව සිදුරු 24 ක් තිබෙන රවුම් බටනළාවක්. මම බෝතල් ආශ්‍රය කරගෙන බටනළාවක් හැදුවා. තට්ටු කිරීමෙන් හඬ පිටවෙන තවත් බටනළාවක්. ඊට පස්සෙ මෑතකදීම හැදුවෙ අඩි දහයක් දිග විශාල බටනළාවක් හැදුවා. බටලීයක් උපයෝගී කරගෙන හැදුවේ. බටහිර සංගීතයේ හා(ර්)මනි ක්‍රමයට වාදනය කරන්න පුළුවන් ලෙස දිගු කාලයක් පුරා පර්යේෂණය කරලා තමයි මෙම නිර්මාණය කළේ.
දායක වූ නිර්මාණ
මම චිත්‍රපට හා වේදිකා නාට්‍ය ටෙලිනාට්‍ය වැනි නිර්මාණ හුඟකට සහභාගි වෙලා තිබෙනවා. මෑතකදී තිරගත වුණු චිත්‍රපටි බොහොමයක මම තමයි පසුබිමින් බටනළාව වාදනය කළේ. "සමනල සංධ්වනි", "සිරි පැරකුම්", "රන් කෙවිට", "මහරජ ගැමුණු", "ඇඩ්රස් නෑ", "සිනහව අතරින්" වැනි ළඟදී තිරගත වූ චිත්‍රපටවල මම තමයි බටනළා වාදනය කළේ. ඊට අමතරව ටෙලිනාට්‍ය බොහොමයක පසුබිම් සංගීතය සඳහා බටනළාව වාදනය කළා. "ගොළු තාත්තා", "මද්දහන", "සේපාලිකා", "රිදී තාරකා", "ගැහැනු ළමයි", "බණ්ඩාර දෙයියෝ", "බොරළු පාර", "අළු බඳුන", "රනා", "පොඩිමාමා" "කුලැත්තියෝ" ඉන් කිහිපයක්. ඊට අමතරව චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, රියැලිටි, සංගීත ප්‍රසංග සඳහාත් සහභාගි වෙනවා. එමෙන්ම මම මේ දිනවල අලුත් කටයුත්තක් සැලසුම් කරගෙන යනවා. ගීතාශ්රිත අලුත් නිර්මාණ එළිදක්වන්නයි බලාපොරොත්තුව. එය ඉදිරියේදී දැනුම් දෙන්නම්.
මහමගදී ලද සජීවී ප්‍රතිචාර
අපේ සංගීත ක්ෂේත්රයේ විවිධ ආකාරයෙන් පෝෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ ජන ගී කලාව හා ගීතය අතර මහත් සබඳතාවක් තිබෙනවා. එහි අපේ ගම අපේ ජනවිඥානය, ආදිය අපේ ජන ගායනාවල එකට බැඳී තිබෙනවා. අපේ රටේ සමහර මාධ්‍යවලින් මම විශ්වාස කරනවා බුද්ධිමත් රසික පිරිසක් සිටින බව. මීට ටික දවසකට පෙර නුවරඑළිය ප්‍රදේශයට මම බටනළා වාදනයකට යන අතරතුර මම බසයෙන් බැස පාරේ යනවිට කෙනෙක් මට කතා කරනු ඇසුණා. බලද්දී ත්‍රිරෝද රථ රියදුරු මහතෙක්. ඔහු මගේ නම පවා දන්නවා. මට ලොකු සතුටක් ඇතිවුණා. ඔහු මගේ රසිකයෙක් වීම ගැන. මම කරපු හැම නිර්මාණයක්ම ඔහු රූපවාහිනියෙන් දැකල තියෙනවා කියල විස්තර කළා. ඔහු මාව ප්‍රසංගය තිබෙන ශාලාවට රැගෙන ගියා. එසේ යන අවස්ථාවේදී ඔහුගේ ත්‍රිරෝද රථයේ වාදනය වූයේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයි. මට ලොකු සතුටක් දැනුණා. උසස් රසවින්දයට දුප්පත් පොහොසත් භේදයක් නැහැ කියල එම අවස්ථාවේදී හැඟුණා. ලෝකයේ බිහිවන ඕනෑම ජාතියක නිර්මාණ රසවිඳින්න මම ගොඩක් ආසයි. මම ගොඩක්ම බටහිර සංධ්වනි හා දෙමළ ගීත රසවිඳින්න ආසයි.
සටහන - ඉඳුනිල් සින්දු/ ඡායාරූප - මලිත් අනුරාධ