අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට


(අංජුල මහික වීරරත්න)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, පැළ සිටුවීම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශයේ මෙහෙයවීමෙන් මෙය  සංවිධානය කර තිබිණි.