උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වරදකරුවන් කරමින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා පොලිස් අධිකාරී ප්රදීප් පනාමල්දෙණිය ගොනු කළ රිට් පෙත්සමට විරෝධතා දැක්වීමට අභියාචනාධිකරණය මානව හිමිකම් කොමිසමට අද(31) දෙවැනි වරටත් කල් දුන්නේය.
සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පැවසූයේ ජුනි 24 වැනි දා ට එම විරෝධතා ගොනු කරන ලෙසයි.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොමිසමේ සාමාජිකයෝ වගඋත්තරකරුවෝය.
උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසු සිසුවියන් පිරිසක් විසින් සිය ඩිප්ලෝමා පාඨමාලාව උපාධී පාඨමාලාවක් ලෙස උසස් කරන ලෙසට බලධාරීන්ට බල කරමින් ඉකුත් වසරේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ දී පැවති උද්ඝෝෂණයේදී පොලිසිය අවම බලය යොදා එය විසුරුවා හළ බවත්, එසේ නොකළා නම් ජන ජීවිතයට හානි සිදුවීමට ඉඩ තිබු බවත් පෙත්සම්කාර පොලිස් අධිකාරීවරයා සිය පෙත්සමින් කියයි.