ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයේදී පොලිසිය හා ගැටුමක් අතරතුර සුමිත් ප්‍රසන්න ජයවර්ධන මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ලබන අප්‍රේල් 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
සිද්ධිය වූ අවස්ථාවේ හිමාල් දිල්හාර නමැති ගොළු තරුණයකු සිටි බව එම තරුණයාගෙන් ලබාගත් ප්‍රකාශයේ සඳහන් වන බව අධිකරණය වෙත අද (8) වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කරුණු වාර්තා කළේය.
සාදයට පොලිසිය කඩාවැදී ඇතිවු ගැටුමකින් පසු ඔහු පහළට තල්ලු කළ බවට සැකපිට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
අධිකරණයේ නිවාඩු කාලය වුවද අද (08) විවෘත අධිකරණයේදී මෙම විමර්ශනයන් පිළිබඳ වැඩිදුර කැඳවීම සිදුවිය.
පොලිස් අධිකාරි ධර්මරත්න කොඳු ඇට පෙළේ තදබල අසනීපයකින් පෙළෙන බවත් ඔහුගේ කොඳු ඇට පෙළේ 5 සහ 6 අස්ථිවල ගැටළුවක් ඇති බව පවසමින් ඔහු රත්නපුර මහ රෝහලේ භෞත චිකිත්සක විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ව්‍යායාම් ප්‍රතිකාර ලබාදීමට අවසර පැතීය. බන්ධනාගාර බස් රථයෙන් පැමිණීම ඔහුගේ මෙම රෝගි තත්ත්වය උත්සන්න වීමට හේතුවක් බවද නිතීඥවරයා කරුණු දැක්වීය.
සැකකරු මීට කලින් කුරුවිට බන්ධනාගරයේදී වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වු බවත් එම වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවේ පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළ බවත් කී විත්තියේ නීතීඥවරයා එහි පිටපතක් ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කළේය.
එසේම දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නැති නිසා එම වාර්තාව කඩිනමින් එවන ලෙසද කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට සිහිකැඳවිමක් කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.
සිද්ධියෙන් අගතියට පත් මරණකරුගේ ඥාතීන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මෙම සිද්ධිය සති දෙකකට වරක් අධිකරනය හමුවේ කැඳවන නමුත් මෙහි ප්‍රගතිය පිළිබඳව අගතියටපත් පාර්ශවයට හෝ සැකකරුගේ පාර්ශවයට දැනගන්නට හැකියාවක් නැතිබව පැවසුවේය. විමර්ශන පවත්වන රහස් පොලිසිය වැඩිදුර වාර්තා මගින් විමර්ශනවල ප්‍රගතිය දැනුම්දිය යුතු වුවත් එවැන්නක් සිදුනොවන බව පැවසුවේය.