ඉදිරි ඡන්දයේදී විග්නේෂ්වරන් කැපෙයි?


ඉදිරි උතුරු පළාත් සභා ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍ෂකයා වශයෙන් වත්මන්  මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකර වෙනත් අයකු ඉදිරිපත් කිරීම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ ඉහළ මටිටමේ අවධානය යොමුවී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.

විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීමත් දෙමළ ජාතික සන්ධානයට එරෙහි උතුරේ දේශපාලන බලවේග හා එක්වෙමින් පක‍ෂයට එරෙහිව කටයුතු කරන බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් පක්ෂ නායකත්වයට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් පක්ෂය අවසන් තීරණයක් ගෙන නැත.

උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතාගෙන් මේ ගැන කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ  ඒ ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.  

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තුරෙයිරත්නසිංහම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ ඒ ගැන කිසිවක් කිව නොහැකි බවයි. එවැන්නක් ඇත්නම් ලබන 26 වැනි දා පැවැත්වෙන දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සම්බන්ධීකරණ කමිටුවේ දී ඒ ගැන සාකච්ඡාව වනු ඇතැයි ඔහු කීවේය.