කසුප් රජුගේ සඳලුතලයේ සිට ඉර සේවය බලන්න අවසර


(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය පව්ව මත සිට දිනපතා ඉරපායන දසුන හා ඉර බැසයන දසුන නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි වේ.

අලුයම 5.30 සිට රාත්‍රී 09 පමණ වනතුරු මේ සඳහා අවසරය ලබා දෙන බව ඉර සේවය නැරඹීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින්  සීගිරිපව්ව වෙත පැමිණි බුද්ධද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පුරාවිද්‍යා ස්ථාන හරහා දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කොට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන අතරතුර සීගිරිය නැරඹීම් සහ සීගිරිය පව්ව මත ඉහල මාලයේ සිට ඉර පායන දසුන් නැරඹීම්ට මෙදින සිට ඕනෑම දෙස් විදෙස් සංචාරකයන්ට අවසර තිබෙන බවත් තමන්ද මෙම අත්දැකීම පලමු වරට විඳ ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය.

අලුයම පහයි තිහට ‍ප්‍රවේශපත්‍ර කවුළුව විවෘත කිරීමෙන් අනතුරුවව අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම විදේශීය සංචාරකයන් කීප දෙනෙකු ද සමඟ සීගිරි පව්ව මතට ගමන් ආරම්භ කරන්නට විය.

සීගිරි පව්ව මතට ගිය කණ්ඩායමට උදෑසන හය පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී ඉර පායන දර්ශනය වන්නට පටන් ගත් අතර ඉර සේවය දැක බලා ගැනීම සඳහා පැමිණ සිටි විදේශීය තරුණියන් දෙදෙනකු එහි චමත්කාරය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ජීවිතයේ ලද ඉතා අපූරු අත්දැකීමක් මෙය බවය.