කාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙති


 

(ඩයනා උදයංගනී)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතර හමුවක් වතිකානයේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී එරට වේලාවෙන් අද පෙරවරු 10.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට පමණ) පැවැත්විණි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ එල්ල වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි වින්දිතයන්ට ශ්‍රී ලංකාව තුළදී සාධාරණය ඉටුකරගැනීමට හැකිවේද යන්න පිළිබඳව සැක සංකා මතුව ඇති බැවින් ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය පැතීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී කාදිනල්තුමන් පාප් වහන්සේ වෙත කරුණු සැලකිරීමට නියමිතව තිබූ බව ජේ.ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමෝ පැවසූහ.

වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකිවීම, සාධාරණය ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ගෙනයන අරගලය, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව මේ දක්වා ගෙන ඇති පියවරයන් ආදිය සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙනඒමට අදාළ පාර්ශව දක්වන උදාසීනත්වය පිළිබඳව ද කාදිනල්තුමන් පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිතව සිටි බව ජේ.ඩී ඇන්තනී සහායක රදගුරුතුමෝ කීහ.

සහායක රදගුරුතුමන් මේ බව පැවසුවේ, කොළඹ අගරදගුරු මැදුරේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.