කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට


රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි.

වෙඩි තැබීම කළේ 22 හැවිරිදි හැඩිදැඩි තරුණයෙකි. තරුණයා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත්, පොලිස්පති සෝරන් තොමැසන් මාධ්‍ය හමුවේ පැවැසුවේ එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවය.

වෙඩි තැබීම කළ තරුණයා ඩෙන්මාර්ක ජාතිකයකු බවත්, ඔහු සුදු අන්තවාදියකු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

වෙඩි තැබීම සිදුවූයේ, ඩෙන්මාර්කයේ වේලාවෙන් සවස 5.30 ට පමණ කෝපන්හේගන් ගුවන්තොටුපොළ සහ සිටි සෙන්ටර් වෙළෙඳ මධ්‍යස්ථානය මැද පිහිටා ඇති ‘ෆීල්න්ඞ්’ නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේය. ප‍්‍රහාරයට ලක්වීමෙන් මියගිය තිදෙනා පිරිමි පුද්ගලයන් බව ද පැවැසෙයි.

(රොයිටර්)