ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්


 

(අංජුල මහික වීරරත්න සහ මුදිතා දයානන්ද)

ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හුණුපිටිය ගංගාරාම විහාරාධිපති  ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය. 

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානීස්සර නාහිමියන්ගේ  ජන්ම දිනය නිමිත්තෙන් අද (14) පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැ දැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා අත්සන් තැබීය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)