දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ "නීළ පළිගු දිය" ටෙලි නාට්‍යයේ "වත්සලා" ලෙස මෑත කාලයේ බොහෝ ප්‍රේක්ෂයන් අතර කතා බහට ලක්වූ ගයාත්‍රි ඩයස් වර්තමාන ටෙලි නාට්‍යය ක්ෂේත්රය තුළ සිටින ජනප්‍රිය හා ප්රවිණ රංගන ශිල්පිණියකි. පසුගිය කාලේ විවිධ කලා කටයුතු ඔස්සේ ඔබේ අවධානය දිනාගත් ගයාත්‍රි මේ දිනවල අලුත් කලා කටයුත්තකට යොමුව සිටියි. "සාරවිට" අපි ඒ පිළිබඳව ගයාතිගෙන් තොරතුරු විමසුවෙමු.
"මමත් මගේ සහෝදර රංගන ශිල්පිණි නයනා කුමාරි එක්ක අලුත් වැඩකට මුල පුරන්න අපි මේ දිනවල සූදානම් වෙනවා. ඒ තමයි රූපලාවන්‍ය ක්ෂේත්රයේ කටයුතු කරන පිරිස් සමග එකතු වෙලා "රුවති රැයක්" නම් ප්රසාංගීක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. මේ ප්‍රසංගය එළැඹෙන අප්‍රේල් 03 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ රාත්‍රි 7.00ට තමයි පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගය සඳහා කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු වගේම ජනාධිපති මෛත්‍රිපාලි සිරිසේන මැතිතුමාත් සහභාගී වෙනවා. චිත්‍රපට ගීත 25ක් සඳහා මෙහි නර්තන අංග පැවැත්වෙනවා. මම හිතන්නේ ලෝකයෙන්ම පළමුවතාවට තමයි මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නේ. මොකද, මේ ප්‍රසංගය සඳහා නර්තනයෙන් වගේම ගායනයෙන් සහය වෙන සියලු දෙනාම රූපලාවන්‍ය ක්ෂේත්රයේ කටයුතු කරන අය නිසා. මමත් නයනාත් රූපලාවන්‍ය ක්ෂේත්රයේ කටයුතු කරන දෙන්නෙක් නිසා තමයි මේ වැඩේට මුලීකත්වය ගත්තේ. ඒ වගේම තමයි මේ ප්‍රසංගයට ගොඩ දෙනෙකුගේ උදව් උපකාර අපිට ආරම්භයේ සිටම ලැබුණා. මේ ප්‍රසංගය ලබන සාර්ථකත්වය මත ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න අපේ සූදානමක් තියෙනවා. පසුගිය සති කිහිපයේදීම මේ වැඩ කටයුත්ත නිසා කලා කටයුතු වල නිරත වෙන්නත් නොහැකි වුණා. ඉතින් අප්‍රේල් 03 වැනිදායින් පස්සේ නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතු වලට යොමු වෙන්න සූදානමක් පවතිනවා."
බුද්ධික සේනාධීර / ඡායාරූප - චානුක කුලසේකර