ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට


(යොහාන් භාසුර)

අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති විරෝධතාවට සහභාගී වී සිටි පුද්ගලයන් හය දෙනකු භාරයට ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ මාධ්‍යම කොට්ඨාසයේ නිලධාරීන් එහිදී උද්ඝෝෂයන් භාරයට ගෙන ඇති බවත් එම පිරිස භාරයට ගත්තේ කුමන හේතුවක් මත ද යන්න නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම නිලධාරියා කීය.

භාරයට ගත් පිරිස පිළිබඳ වැඩි විස්තර පසුව ලබාදෙන බව ද එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

උද්ඝෝෂකයන් පස්වරු 5.30 ට පමණ ගාලුමුවදොර ප්‍රධාන මාර්ගයට පිවිස පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව ආරම්භ කිරීමත් සමඟ පොලිසිය එම විරෝධතාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඔවුන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව උද්ඝෝෂකයන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයට පිවිසි අතර එහිදී පොලිසිය උද්ඝෝෂකයන් පන්නමින් කීපදෙනකු භාරයට ගත්තේය.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)