ජනපති තිරුපති යයි


ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් දකුණු ඉන්දියාවේ   ආන්ද්‍ර ප්‍රදේශ්හි තිරුමාලා කඳුවැටියේ වෙන්කතේෂ්වර (තිරුපති) දෙවොලේ දෙදින වන්දනා  සංචාරයක් සඳහා පැමිණ ඇතැයි ඉන්දියාවේ පළවන ‘ද හින්දු‘  පුවත්පත   වාර්තා කළේය.

අන්ද්‍රා ප්‍රදේශයේ තිරුමාලා හි සප්ත ගිරි කඳු අතර පිහිටි තිරුපති කෝවිල ලොව බෙහෙවින් පරසිදු හින්දු ආගමික ස්ථානයකි. දිනකට 50,000 සිට 1,00000 දක්වා වන්දනාකරුවෝ එහි එති. වෙන්කතේෂ්වර දෙවියන් සඳහා කැපවුණු ආගමික සිද්ධස්ථානයක් ලෙස මෙය හැඳින්වේ. වෙන්කතේෂ්වර යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දුහු සලකති.

මුහුදු මට්ටමින් අඩි 3700ක් පමණ ඉහළින් එය පිහිටා තිබේ.

ජනාධිපතිවරයාගේ සංචාරය නිසා තිරුමාලා දෙවොල පිහිටි චිට්ටූර් දිස්ත්‍රික්කයට   දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබ තිබේ.   ආන්ද්‍ර ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත අතර දේශසීමා මාර්ග වල මුරපොළවල්හි ආරක්ෂාව තර කර ඇත.

විශ්ණු දෙවියන් වෙනුවෙන් කැපවුණු වයිශ්නාවා ශාස්ත්‍රධරයෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට, ඔහුගේ බිරිඳ ජයන්ති පුෂ්පකුමාරි සිරිසේනට, පුතා දහම් සිරිසේනට හා අනෙකුත් පවුලේ සාමාජිකයින්ට තිරුපති කෝවිලේ රංගනායකුල මණ්ඩලයේදී වේදාර්ශිවාද පැවැත්වූහ.

තිරුපති කෝවිල් බලධරයෝ ආසිරි ගැන්වූ ලඩ්ඩු ජනපතිට පිරිනැමූහ.

ජනපති ඇතුළු පිරිස කෝවිලේ ශුද්ධවු මණ්ඩපයේ මිනිත්තු පහළොවක් පමණ ගතකළහ.කෝවිල් බලධරයෝ එහිදී ජනපති සේද සළුවකින් සැරසූහ.

කෝවිල් සභාපති ක්‍රිෂ්ණමූර්ති, විධායක නිලධාරී ආචාර්ය සම්බාසිව රාවෝ, වන සම්පත් ඇමැති බෝපාල ක්‍රිෂ්ණන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පිළිගත්හ.

ක්‍රිෂ්ණා තානායමේ රාත්‍රිය ගතකළ ජනපති ඇතුළු පිරිස පසුදා පොලිස් ආරක්ෂාව මැද බැංගලෝරය බලා ගියහ. ජනපති මෙම කෝවිලේ සුප්‍රබාත සේවා පූජාවට සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙය බව හින්දු පුවත්පත කියයි.

THIRUPKVL 0821 06

14-Nim-pg-1-1

aff

sg