රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වූ පූර්ණිමා ධනංජනී
වයස අවුරුදු 14 තරම් කුඩා කාලයේදී විශාරද තත්ත්වය ලබාගත් දක්ෂ ගායිකාවක් වන පූර්ණිමා ධනංජනී, 'දස්කොන්' ටෙලිනාට්‍යයේ තේමා ගීතය නිසාවෙන් රසිකයන්ගේ හදවත් දිනාගත් ශිල්පිනියකි.ඒ අනුව නිමා වූ රයිගම් සම්මාන උලෙළේදීද හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ ඇය,ඊටපෙරත්'මහ පොළොව අපේ නෙවෙයි' ටෙලිනාට්‍යය වෙනුවෙන් 2013 වසරේ පැවැති "සුමති සම්මාන උළෙලේ"දී හොඳම ගායනය වෙනුවෙන්ද නිර්දේශ වූ ගායිකාවකි."ඉස්සරහට යන්න","බොල් වී අහුරු", "පබලු මැණිකෙ,"සිදංගනාවෝ", "පවන සේ ඇවිදින්", "අනවරත", "හඳපානාගල" වැනි ටෙලිනාට්‍යවල පසුබිම් ගීත සඳහා මෙන්ම 'අසලියා මල', "Full house"වැනි කොරියානු නාට්‍යවල තේමා ගීත සඳහාද දායකත්වය ලබාදුන් ඇය සමගින් කෙටි කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.
විදෙස් රසිකයන්ගෙන් පවා ප්‍රතිචාර ලැබුණු "දස්කොන්" තේමා ගීතය නිසාහුඟක් අය බලාපොරොත්තු තැබුවේරයිගම් සම්මාන උලෙළේදී හෝ ඔබට සාධාරණයක් ඉෂ්ට වේවි කියලයි?
ඔව්.ගොඩක් අය දස්කොන් ටෙලිනාට්යයේමං ගැයූ තේමා ගීතයට ආදරය කළා.ඒ නිසා ඒ තේමා ගීතය හුඟක් ජනප්‍රිය වුණා. ඒ නිසා බොහෝ දෙනෙකුට ඒ ගැන එහෙම බලාපොරොත්තුවක් තිබුණා.
එතකොට පූර්ණිමා ගීත ගායනයේ යෙදෙන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්ද ?
ඇත්තටම නෑ.ඒත් මම ගායනා කළ ටෙලිනාට්‍ය තේමා ගීත අතරින් දෙකක් මේ වනවිට සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා.මේ නිර්දේශ වීමත් එක්ක ඕනෑම කෙනෙකුට සම්මානය ගැන බලාපොරොත්තුවක් ඇතිවෙනවානේ.මොකද සම්මානයකින් දිරිගැන්වීමක් ලැබෙනවා.සම්මානයලැබෙන නොලැබෙන එක වෙනම කතාවක්.
ඒත් සම්මානයක් කියන්නෙ සාපේක්ෂ දෙයක්.පවතින විනිශ්චය මණ්ඩලවලට අනුව වෙනස් වෙනවා?
ඔව්. ඒක එහෙම වෙනවා.හැබැයි දස්කොන් තේමා ගායනයට මට ලැබුණු ජනතා සම්මානය උපරිමයි. ඒ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් විශේෂයි.
කොහොම නමුත් පූර්ණිමා කියන්නෙ තාමත් සමස්ත රසිකයන්ටම දැනෙන ගායිකාවක් වෙලා නැහැ.එහෙමද?
මගේ පැත්තෙන් රසිකයන් එහෙම හිතෙන එකේ වරදක් නැහැ.
ඇයි එහෙනම් තරුවක් වෙන්න පුළුවන් ගීතයක් ගායනා කරලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න අවශ්‍ය නැත්තේ ?
මම දායක වූ නිර්මාණ හරහා මං සෑහෙන තරමට මගේ අනන්‍යතාව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒ ඇරුණම ජනප්‍රිය වීමේ හීනය නම් දැන් මට නෑ. ඒකට හේතුව පවතින ක්‍රමය තුළ මට ගැළපෙන නිර්මාණ කරන්න ඉඩ අඩුයි.
හොඳ නිර්මාණ කරනවා නම් ජනප්‍රිය වෙනවානේ? ඒ වගේ ගුණාත්මක රසිකයෝ අද නැද්ද?
රසිකයන්ට හොඳ නිර්මාණ ඇහෙන්න සලස්වන්න විදියක් නැතිකමයි තියෙන්නේ.
මොනවද අලුත් නිර්මාණ?
පසුබිම් ගායනය කළ අලුත් ටෙලිනාට්‍ය කිහිපයක් විකාශයට නියමිතයි.ඒ වගේම %සී රජ^, %මීදුම් අම්මා^ යන ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා.
චිත්‍රපට පසුබිම් ගායනයට සම්බන්ධවෙන්න අදහසක් නැද්ද ?
චිත්‍රපට නිර්මාණවලට අලුත් හඬවල් යොදාගැනීම ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ වගකීමක්. ඒකෙන් නිර්මාණවලට අලුත් ජවයක් ලැබෙනවා.ඒ වගේම අලුත් පරපුරේ අයට හොඳ අවස්ථාවකුත් ලැබෙනවා.
තමන්ගේම නිර්මාණ එකතුවක් කරන්න අදහසක් නැද්ද?
මගේ නිර්මාණ ගොඩක් තියෙනවා. නිර්මාණ එකතුවක් කරන එක ඵලක් වෙයිද කියන එක පවතින තත්ත්වයත් එක්ක ගැටලු සහගතයි.ඒ නිසා ඒ ගැන හිතුවෙ නෑ. ඒත් මගේ බොහොමයක් නිර්මාණ youtubeහරහා නරඹන්න පුළුවන්.
ඒත් හුඟක් ඒවා තේමා ගීතනේ.ඒ කියන්නෙ දැන් වෙද්දි ගීත ඇල්බමයක් කරන එක ඵලක් නැති වැඩක්ද ?
උසස් ගණයේ නිර්මාණවලට තේමා ගීත ගයන්න අවස්ථාව ලැබෙන්නෙ ඉතාම සීමිත පිරිසකට. ඇල්බම් කරනවට වඩා මිනිස්සු අතරට යන ගීත කරන්නයි අද ගොඩක් අය උත්සාහ ගන්නෙ. අවස්ථාව ලැබෙන විදියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා මගේ ගායන හැකියාවේ උපරිමය ඒ සඳහා ලබාදෙන්නයි මම උත්සාහ කරන්නේ.
එතකොට පූර්ණිමා කියන්නෙ වෘත්තියමය වශයෙන් ගායිකාවක් වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි?
වෘත්තීයමය වශයෙන් ගායනය කරන්න තරම් සංගීත ක්ෂේත්රය තුළ මම තවම ස්ථාවර නෑ. ඒ නිසා ඒ ගැන උත්සාහයක් නෑ.
සටහන - මාලන් ගෝවින්ද