ජාතික ගීයේ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවට


හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී   ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම තිදෙනෙකු හෝ ඊට වැඩි සාමාජිකයින් පිරිසක් සහිත පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

එම පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අර්ථ නිරූපණයක් ඉල්ලා ඇති හෙයින් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සැප්තැම්බර් 01 වැනිදා කැඳවීමට යයි.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

කැළණිය, ගල්බොරැල්ල විතානගේ සංජීව සුදත් පෙරේරා, පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා  සහ කැළණියේ දොන් ප්‍රේමරත්න මහත්වරු මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛනයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් වේ.