ජීඇල් රට රටවලට ගතු කියයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට රජය ගත් තීරණයෙන් බරපතල ප‍්‍රතිවිපාක මතුවෙතැයි යැයි ශ්‍රී ලංකාව නියෝජනය කරන කොළඹ පිහිටි එතෙර තානාපති කාර්යාලවලට ලිපියක් යවමින් හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දන්වා ඇත.

ආණ්ඩු මාරු වී, මාස 15 කට පමණ පසු රජය එවැනි තීරණයක් ගෙන කි‍්‍රයාත්මක කර ඇතැයි ද එම ලිපියෙහි සඳහන් වෙයි.

ඝාතන සඳහා යොදා ගත හැකි උපකරණ ද මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ද සමඟ කොටි ත‍්‍රස්තවාදීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක රජය හිටපු ජනපතිගේ ආරක්ෂාවට එසේ කර ඇති බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැහැදිලි කර තිබේ.

රජය ගත් මෙම තීරණයේ අරමුණ පැහැදිලි වශයෙන්ම හිටපු ජනපතිවරයා නීත්‍යනුකූල දේශපාලනයේ නියැලීමට බාධා කිරීම බවත් රටේ විවිධ පළාත්වලට ගොස් මහජනතාව හමුවීම වැළැක්වීම බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

රජය ජනතා අප‍්‍රසාදයට ලක් වී එම අප‍්‍රසාදය ඉහළ යන  අවස්ථාවක, රජයට එරෙහිව නැඟී එන විවේචන කිසිලෙසකින්වත් පරාජය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙද්දී, තර්ජනයෙන් සහ පීඩාකාරී ලෙස ප‍්‍රතිවාදීන් නිහඬ කිරීමට ගත් පියවරක් ලෙස ද මෙය සලකන බව ලිපියෙහි සඳහන් වෙයි.

මේ ගැන අවධානය යොමු කර ඔබගේ ආණ්ඩුවල නායකයන්ට මේ ගැන දැනුම් දීමට කටයුතු කරන්නැයි ද මහාචාර්ය පීරිස් මහතා තානාපති සහ මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටී.

රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ ලොව කිසිම නායකයකුට යුද හමුදාවේ ආරක්ෂාව නොසපයන බවයි. ශ්‍රී ලංකාවද ඒ අනුව ඔහුටද හිටපු නායකයනට මෙන් පොලිසියේ ආරක්ෂාව සපයා ඇති බව අගමැති කීවේය.