විශ්වවිද්‍යාල සිසුවකු වන තම පුත්‍රයා තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකාර සිසුවකුගේ පියෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතාගෙන් ආයාචනා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. උසස් පෙළ ගණිත අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් තම පුත්‍රයා මෙවර පොලිසියට කොටු වූයේ තෙවැනි වරට බවද එම පියා මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් සඳහන්ය.
උසස් පෙළ විභාගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බව දැනගත් මොහොතේ ඒ පියාට දැනුණ ආඩම්බරකාරකම අපට තේරුම් ගැනීමට අසීරු නැත. එමෙන්ම එම පුත්‍රයා හෙරොයින් මාරයාට බිලිවීම හේතුවෙන් එම පියා විඳවන තරමද අපට හඳුනා ගත හැකිය. මත් ද්‍රව්‍යවලට කළ හැකි හානියේ තරම මෙම සිදුවීමෙන් වුවද ඔප්පු වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තමන් සහභාගී වූ පළමු එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් එම හපන්කම පෑ ලොව සිව්වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වෙමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් දිනා දුන් ක්‍රිකට් ක්‍රීඩකයා තවමත් පසුවන්නේ බන්ධනාගාරයේය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමය. මනහර පැහැබර අනාගතයකට උරුමකම් කී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ජීවිතය අකාලයේ මිලින කිරීමට මත්කුඩු රකුසාට හැකිවිය.
උසස් පෙළ ගණිත අංශයෙන් සරසවි වරම් ලැබීම පහසු කටයුත්තක් නොවේ. එම අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට හැකි වන්නේනම් එය එම සිසුවාට සාඩම්බර පදක්කමකි. රට සරසන බරැති මොළයක් වීමේ වාසනාව තිබුණද මෙම සරසවි සිසුවා මත් රකුසාට බිලි වී තිබේ. දුක් දහදිය කඳුළු සලමින් උස් මහත් කළ තම ආදරණීය පුත්‍රයා පුනරුත්ථාපනය කර දෙන මෙන් එම පියාට අධිකරණය ඉදිරියේ ආයාචනය කිරීමට සිදුවීම තවත් එක් සිදුවීමක් වශයෙන් පමණක් තේරුම් නොගත යුතුය.
සමාජය වසා පැතිර යන පිළිලයක් බවට මත් ද්‍රව්‍ය පත් වී අවසන්ය. එක් පුවතකින් කියැවුණේ අත්අඩංගුවට ගත් මත් ජාවාරම්කරුවකුගේ දිනක ආදායම රුපියල් ලක්ෂ 40ක් 50ක් අතර වන බවය. එක් වරක් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි ගණනකි. උතුරා පිටාර ගලා යන තරමට මුදල් ඉපයීමේ පහසු මාර්ගයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනා ගන්නා ජාවාරම්කරුවෝ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් ජයටම එම ජාවාරම කරගෙන යති. වඩාත් යහපත් අනාගතයක් සම්බන්ධ අපේක්ෂාවෙන් පිරීගත් සිඟිති තුරුණු වැඩිහිටි පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැලට කොටු වෙති.
එක් පවුලක එක් සාමාජිකයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම යනු එම මුළු පවුලම විනාශ වී යාමකි. එම පවුලට යළිත් හෙටක් නැත. එබඳු පවුලකින් ආවාහ විවාහයක් කර ගැනීමට පවා අනෙක් පිරිස අකැමැතිවීම බලාපොරොත්තු විය යුත්තකි. ඒ අනුව පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු වේනම් එහි ආදීනව එම පුද්ගලයාට පමණක් නොව මුළු පවුලටම බවය. ඇතැම්විට එය මුළු පරම්පරාවටම බලපෑමට ඉඩ තිබේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ කිසිවිටෙක එබඳු ඉරණමක් අපේක්ෂා නොකළෝ වෙති. ඔවුන් ඉදිරිපිට ද වූයේ වාසනාවන්ත අනාගතයක් සම්බන්ධ සුබ සිහිනය. එහෙත් කුමන හෝ හේතුවකට ඔවුහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූහ. එය යළිත් ආපිට හැරී ආ හැකි මගක් නොවේ. ඔවුන්ගේ ජීවිත ඒ නරකාදියටම දියවී යයි.
සෞඛ්‍ය විද්‍යාත්මක සාධකවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සාතිශය බහුතරයකට එයින් මිදීමේ වුවමනාව තදින්ම තිබේ. එහෙත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරිකව ඇතිවන ප්‍රතික්‍රියා නිසා මත්ද්‍රව්‍ය වලින් මිදීමේ අවශ්‍යතාව තිබුණද එය ක්‍රියාත්මක කළ නොහැකිය. එහෙයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් සිදුකරන පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අලුත් මානයකින් බැලිය යුතුය. එය ජාතික අවශ්‍යතාවක් වශයෙන් සලකා කටයුතු කළ යුතුය. නැතහොත් පුනරුත්ථාපන කාලය අවසන් වී සමාජගත වූ පසු යළිත් ඔහු මත්ද්‍රව්‍යවලට යොමු වීමට ඉඩ තිබේ.
කොරෝනා මාරාන්තික උවදුර රටින් තුරන් කිරීමට හැකිවී තිබේ. ඒ කොරෝනා පොකුරු රෝගීන් සොයා සිදුකළ අනවරත මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය. නිශ්චිත විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙයින් ලෝක වසංගත තත්ත්වයෙන් ඉතාම කෙටි කාලයකින් රටට නිදහස උදාවිය. ඒ ආකාරයෙන්ම කුඩු පොකුරු සොයමින් මෙහෙයුම් දියත් කරන්නේ නම් මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමට හැකිවනු ඒකාන්තය.