ඩකා නුවරදී ප්‍රාණ ඇපයට පත් ලක් යුවළ රෝහලේ


බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රික කලාපයේ අවන්හලකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගැනුණු පිරිස අතර සිට බේරැණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා  එම ප්‍රහාරයෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් මේවන විට  ඩකා නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මොවුන් අඹු - සැමියන්  වන අතර ඩකා නුවර පිහිටි  ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඔවුන් බැලීමට රෝහලට ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බව බංගලාදේශයේ වැඩබලන මහකොමසාරිස් සේසත් තාඹුගල මහතා දන්වා ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.

ඩකා  හි සුප්‍රසිද්ධ අවන්හලකට ඇතුළුවු ත්‍රස්ත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (01) රාත්‍රී වෙඩි තබමින් සිදුකළ ඛේදවාචකයෙන් බංග්ලාදේශ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් 20කට අධික පිරිසක් මිය ගියහ. එම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය විසින් බාරගන්නා ලදී.