ඩිල්ෂාන් එක්දින පිටියට සමුදෙන්න සැරැසෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක්‍රිකට් තරගවලට සමුදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාව සමග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 28 වැනිදා පැවැත්වෙන තෙවැනි එක්දින තරගයෙන් පසු ඔහු සමුගැනීමට නියමිතය.

වයස අවුරුදු 39ක් වන තිලකරත්න ඩිල්ෂාන් 1999 වසරේදී එක්දින වරම් දිනා ගත් අතර 2000 වසරේ නොවැම්බර් මාසයේ ටෙස්ට් වරම් දිනාගෙන වසර 13ක ටෙස්ට් දිවියට ඔහු 2013 වසරේදී සමුදුන්නේය.

මේ වන වට එක්දින තරග 329කට සහභාගී වී සිටින ඩිල්ෂාන් ලකුණු 10248ක් ලබාගෙන ඇත. ඊට ශතක 22ක් හා අර්ධ ශතක 47ක් ඇතුළත්වේ. පන්දු යවන්නකු ලෙසද දස්කම් දක්වන ඩිල්ෂාන් එක්දින කඩුලු 106කට හිමිකම් කියයි.