තරුණ නාට්‍යකරුවෝ මෛත්‍රී සමග සාකච්ඡාවට බෑ කියති


රාජ්‍ය නාට්‍ය උළෙලට කුඩම්මාගේ සැළකිලි දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට තරුණ නාට්‍යකරුවන් පිරිසක්  කටයුතු කර ඇත.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් කළත් නිලධාරින් හා දේශපාලකයන් විසඳා ගත යුතු ප්‍රශ්නයකට නාට්‍යකරුවන් පටලවාගැනීමෙන් විසඳුමක් නොලැබෙන බැවින් එවැනි සාකච්ඡාවකට සහභාගීවීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බව නාට්‍ය ශිල්පී ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි මහතා ‘‘ලංකාදීප“යට පැවැසීය.

පසුගිය වසරවලදී සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර අධ්‍යාපනයට අමාත්‍යාංශයට පැවරී තිබිණි.

මේ සම්බන්ධයෙන් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති කේ.බී.හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ රාජ්‍ය නාට්‍ය උළෙල අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන් නාට්‍යකරුවන් දක්වන විරෝධය සෑම අතින්ම සාධාරණ නමුත් ජනාධිපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විමසීමක් තමාගෙන් නොකළ බවයි.