තිසා වැවේ මාළුන්ට නරක දසාවක්


අනුරාධපුර තිසා වැවේ මාළුන් විශාල වශයෙන් මිය යාමට පටන් ගෙන ඇතැයි ද මේ හේතුවෙන්  එම වැවේ ජල පාරිභෝගිකයින්ද ගැටලු රැසකට මුහුණපා ඇති බවත් ප්‍රදේශයේ  දැඩි දුර්ගන්ධයක්  පවතින බවත් ප්‍රදේශවාසීහු කියති. 

ජල සම්පාදන කාර්යාලයේ නිලධාරින්ට මාළුන් හා ජලය පරික්ෂණයට රැගෙන ගිය බවත් මේ සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලති.

තිසාවැව ජල සම්පාදන මණ්ඩලයේ ස්ථානභාර නිලධාරි ටි.එච්.ඩබ්ලිව් ප්‍රියන්ත මහතා  පැවසුවේ වැවේ ඇතැම් ස්ථානවල ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා මේ තත්වය මතුව ඇති බවයි. එසේම ජලය හා මාළුන් රැගෙනවිත්  නාරා ආයතන හා මධ්‍යම පරිසර අධිකාරිය පරික්ෂණ සිදුකරන බවත් කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය වාතනය කර බෙදා හරින බවත් ඔහු කීවේය.

තිසාවැව සහකාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා සඳහන් කළේ මෙවැනි තත්වයන් සුළු වශයෙන් පසුගිය වර්ෂවලද දක්නට ලැබුණ බව තිසාවැවේ ධීවරයින් තමා සමග පැවසු බවයි.  තිසා වැවේ මාළු ගහණයේ වැඩිවීමද මීට බලපා ඇතැයි අනුමාන කරන බවද තිලකරත්න මහතා කීය.

tisawewa67a3 tisawewa67a23 tisawewa67a43