දෙමළ ඊළම සංගණනයට පටලවයි


2016 සංගණනයට ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාව දෙමළ ඊළමක් ලෙසද නම් කැර තිබිණි. විවිධ රටවලින් ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිභාවය ලබා සිටින පිරිස් පැමිණි රටවල් මේ සංගණනයේ දී සොයා බලන ලෙස ඕස්ට්‍රේලියා විදේශ හා වෙළඳ දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.

ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙම කාර්යයේදී ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව ලෙස ද ටැමිල් ඊළාම් ලෙසද 7107 අංකයෙන් හඳුන්වා ඇත. ඕස්ට්‍රේලියාවේ වාසය කරන රංජිත් සොයිසා මහතා මෙම බරපතල වැරැද්ද ඕස්ට්‍රේලියා අගමැති, නියෝජ්‍ය අගමැති හා නීතිපතිට ද එරට ඇමැතිවරුන්ට ද පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් නැති බවත් එවැන්නක් සඳහා සටන් කළ දෙමළ කොටි සංවිධානය 2009 දී පරාජය කළ බවත් ලොව කිසිම රටක් දෙමළ ඊළමක් පිළිගෙන නැති බවත් සොයිසා මහතා තම ලිපියෙන් කියා ඇත. මෙම වරද වහා නිවැරදි කරන ලෙස පසුගිය 8 වැනිදා (සඳුදා) ඔහු මෙම ලිපිය යැවීය.

මේ අතර සොයිසා මහතා ගේ ඉල්ලීම අනුව කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය  ඕස්ට්‍රේලියා රජයට ද මේ ගැන පැමිණිලි කළේය. ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය ඒ අනුව දෙමළ ඊළම යන්න ඉවත් කරන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිමාලි අරුණතිලක මහත්මියට දන්වා ඇත.

සොයිසා මහතාගේ සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරියගේ කරුණු දැක්වීමත් සමග ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම යන්න ඔවුන්ගේ අන්තර්ජාල සංගණනයෙන් ඉවත් කර ඇත.

web_810Untitled-2

web_810Untitled-1