ධූරයේදී ලැබුණු තෑගි ඉම්රාන් ගෙදර අරන් ගිහින්


පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සිය ධුර කාලය අතරතුරේ විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාගවලින් වැඩි ප්‍රමාණයක්  ධුරයෙන් පිටව යද්දී රැගෙන ගොස් ඇති බවත්, ‘ටොෂඛානා’ දෙපාර්තමේන්තුවට ගෙවා ඇත්තේ භාණ්ඩ කීපයක් සඳහා ඒවායේ වටිනාකම පමණක් බවත් ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්මන් රජය චෝදනා කරයි.

‘ටොෂඛානා‘ දෙපාර්තමේන්තුව යනු පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, විදේශ ලේකම්වරුන්ට, ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලැබෙන ත්‍යාග භාරව කටයුතු කරන රාජ්‍ය ආයතනයයි.

ධුර කාලය අවසානයේ දී තමාට ලැබුණු ත්‍යාගය රැගෙන යෑමට අවශ්‍ය නම්, එම ත්‍යාගයේ වටිනාකම ‘ටෝෂඛානා‘ වෙත ගෙවිය යුතු වෙයි.

පාකිස්තාන නීතියට අනුව විදේශ දූතයන්ගෙන් ලැබෙන ත්‍යාග පාකිස්තාන රාජ්‍ය භාණ්ඩාගාරයේ හෝ ‘ටෝෂඛානා‘ දෙපාර්තමේන්තුවේ තැන්පත් කළ යුතුය.

ඉම්රාන් ඛාන් ට ලැබුණු ත්‍යාග පිළිබඳ ඔහු නිවැරදි තොරතුරු සඟවා ඇති බවත් ඔහු ලැබුණා යැයි තොරතුරු ඉදිරිපත් කළ ත්‍යාග කිහිපයට පමණක් මුදල් ගෙවා ඇති බවත් පකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ගොනු කළ පෙත්සමේ දැක්වෙයි.

මේ පිළිබඳ ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව බලධාරීන් ඔහුට දන්වා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉම්රාන් ඛාන් ඔහුට ත්‍යාග ලෙස ලැබුණු පාකිස්තාන රුපියල් මිලියන 154 කට වඩා වටිනා අත් ඔරලෝසු තුනක් විකුණා ඇති බවත් මෙසේ ත්‍යාග විකිණීමෙන් මිලියන ගණනක් උපයා ඇති බවත් ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්මන් රජය වැඩි දුරටත් චෝදනා නගමින් පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)