මෙවර "සාරවිට" තරු කතාබහ ඇරඹෙන්නේ මේ දිනවල දකින වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම ඔබ දකින රශ්මි ප්‍රභා සමගිනි. රූපවාහිනි ආයතන කිහිපයකින් සංවිධානය කළ "අවුරුදු කුමරි" තරග ජයගනිමින් නිරූපණ ක්ෂේත්රයට අවතිර්ණ වූ ඇය මේ වනවිට නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගෙන සිටින්නීය.
නිරූපිකාවක් වුණේ?
නිශා මනහරි හා රිචා ලියනගේ අක්කලා මාව හැඩගන්වලා මනාලියන් දැක්මවල්වලට ඉදිරිපත් කළා. මනාලියක් ලෙස හැඩ වෙලා තරගවලට ඉදිරිපත් වෙන කොට නිරූපණ ක්ෂේත්රයේ කටයුතු කරන පිරිස් හඳුන ගන්න පුළුවන් වුණා. ඒ හරහා තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට එන්න මාවත සැකසුණේ. හරියටම මම නිරූපණ ක්ෂේත්රයට පිවිසියේ 2009 අවුරුද්දේ.
ඔය අතරේ ඔබ ඉදිරිපත් වුණා නේද "අවුරුදු කුමරි" තරගවලට?
"අවුරුදු කුමරි" තරගවලට ඉදිරිපත් වෙන්න කලින් මම 2010 අවුරුද්දේ CIB ආයතනය විසින් සංවිධානය කරන ලද "CIM Model of the year" බියුටි ෆැජන්ට් එකට ඉදිරිපත් වෙලා එහි ජයග්‍රාහිකාව වුණා. ඊට පස්සේ තමයි "අවුරුදු කුමරි" තරගවලට ඉදිරිපත් වුණේ. 2012 අවුරුද්දේ තිබුණ "දෙරණ අවුරුදු කුමරිය" වගේම එම අවුරුද්දේ තිබුණ "සිරස කුමරිය" තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ හිමි කරගත්තා. ඒ වගේම "ලක්ස්" ආයතනය විසින් සංවිධානය කළ "ලක්ස් රුවැත්ති" තරගයත් මම ජයග්‍රහණය කළා. එම තරගයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මට රුපියල් දසලක්ෂයක් වටිනා රත්තරන් ආභරණ මෙන්ම දසලක්ෂයක් වටිනා මංගල සාරියක්ද ලැබුණා.
නමුත්, ඔබ "බ්‍රයිඩ්ල්" කෙනෙක් විදිහට විතරයි නිරූපිකාවක් විදිහට කටයුතු කරන්නෙ?
මම දැනට විවාහකයි. ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතේට හානියක් නොවන විදිහට තමයි මම නිරූපණ කටයුතු සිදු කරන්නේ. ගොඩක් වෙලාවට ඒ කාරණය නිසා තමයි මම "මනාලියන් දැක්මවල්"වලට විතරක් වැඩිපුර යොමු වෙන්න උනන්දු වෙන්නේ.
නිරූපිකාවක් වුණාහම බොහෝ දෙනෙකුගේ ඊළඟ පියවර වෙන්නේ රංගනය පැත්තට යොමු වෙන්න?
නැහැ. මගේ අදහසක් නැහැ රංගනය පැත්තට යොමු වෙන්න.
රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවාද?
ඔව්. මා දායක වුණ "සන්ක්වික්, "ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්^ හා "හැටන් නැෂනල් බැංකුව" කරපු වෙළෙඳ දැන්විම් ගොඩක් ජනප්‍රිය වුණා. ඊට අමතරව ප්‍රසංග තිසේරාගේ "හිත හදාගන්න" කියන මියුසික් වීඩියෝවෙත් මා රංගනයෙන් දායක වුණා. දැනට මම ප්‍රසංග අයියාගේ ගීතයට අමතරව තවත් ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා වැඩ කරලා තියෙනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
හරිම ලස්සන තැනක්. සමහර අය එක විනාශ කරනවා. සමහර අය ඒකට ආදරය කරමින් ලස්සනට වෘත්තියක් විදිහට කරගෙන යනවා. රැකියාවක් කරද්දි එකේ වටිනා තියෙනවා නම් මොන රැකියාවත් හොඳයි කියලයි මට හිතෙන්නේ.
මේ ක්ෂේත්රය තුළ ඉලක්ක තියෙනවාද ඔබට?
තරගයක් කොතැනද නැත්තේ. මම කැමතියි ඒ තරගයට. එහෙම නැත්නම් එකේ ඉදිරියට යන්න බැහැ. ඒ වගේම ඉදිරියට තරගයක් නැතිව ගිහින් වැඩකුත් නැහැ. ඒ නිසා මගේ ලොකුම ඉලක්කය තමයි නිරූපණ ක්ෂේත්රය තුළ ඇති තරගකාරීත්වය ජයගන්න එක.
නිරූපිකාවක් වුණ එක ගැන?
ගොඩක් සතුටුයි. ඒ වගේම මම මගේ ජොබ් එකට ගොඩක් ආදරේයි.