දෝහා නගර සභාව මෙම මාසයේ ආරම්භයේ සිට ආහාර වෙළෙඳසැල් සහ සැලෝන් 803 ක් නිරීක්ෂණයට ලක්කර අදාළ නීතියට අනුකූල නොවන ආයතන 119 ක් අනාවරණය කරගෙන තිබේ. එසේම ඉහත වෙළෙඳසැල් සහ සැලෝන්වලින් 684 ක් අදාළ නීතිමය අවශ්‍යතාවලට අනුකූලව ක්‍රියාත්මක වන බවද සොයාගෙන ඇත.
මෙම වැටලීම්වලදී යම් යම් නීති රීති උල්ලංඝනය කළ ආයතන 14 ක් තාවකාලිකව වසා දැමීමටද දෝහා නගර සභාව කටයුතු කර තිබේ. මෙම ආයතන අතර අවන්හල් සහ ආහාර අළෙවිසැල්ද වෙයි. දින 10 සිට 20 දක්වා කාලයකට එම ආයතන වසා දමා ඇත.
මෙලෙස වසා දමන ලද වෙළෙඳසැල් සිදුකළ වැරැදි අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ප්‍රදර්ශන කිරීම, ආහාර දුර්වල තත්ත්වයන් යටතේ පිළියෙල කිරීම, නියමිත ප්‍රමිතියට සහ කල් ඉකුත් වීමේ බලපත්‍රයට අනුකූල නොවීම වෙයි.
එසේම මෙම වැටලීම් අතරතුරේදී එළවළු ටොන් 26 ක්, පළතුරු ටොන් 30 ක්, මාළු ටොන් 2.5 ක් සහ මස් ටොන් 6 ක් ඇතුළු ආහාර ටොන් 64.5 ක් විනාශ කිරීමටද නගර පරීක්ෂකයන් කටයුතු කර තිබේ.
මේ අතර බේකරියක් සහ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වසා දැමීමට අල් දායෙන් නගර සභාව පියවර ගෙන ඇත. බේකරිය දින 14 ක කාලයකට වසා දමා ඇති අතර සුපිරි වෙළෙඳ සංකීර්ණය වසා දමා ඇත්තේ දින 30 ක කාලයක් සඳහාය. මෙම වසා දැමීමට හේතුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීමයි.