පයිලට්ගේ වැඩ තහනම්


ජර්මනියේ ෆ්‍රැන්කට් නුවර සිට කොළඹ බලා පසුගිය 19 වැනිදා පියාසර කරමින් තීබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල්554 ගුවන් යානයේ කපිතාන් මද්‍යසාර පරීක්ෂණයෙන් අසමත් වූ නිසා ගුවන් යානය ශ්‍රී ලංකාවට පියාසර කිරීමට වෙනත් කපිතාන් වරයකු යොදා ගත් බව ගුවන් සේවා සමාගම කියයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියනුයේ  සැමවිටම මගීන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන බවයි. නොසැලකිල්ලට හා ගුවන් සේවා නීති රීති උල්ලංඝණය කරන්නවුනට සහන නොදෙන බවත්, එහෙයින් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් ගුවන් සේවය කියයි.

පරීක්ෂණ සඳහා ෆ්‍රැන්කට් ගුවන්තොටේ බලධාරීන්ගේ සහායද ලැබෙන බවත්, මේ අනුව කපිතාන් උපේන්ද්‍ර රණවීරගේ වැඩ තහනම් කළ බවත් ගුවන් සේවා ආරංචි කියයි.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව හැම විටම මුල්තැනෙහි ලා සලනක ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිම හේතුවක් නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී කිසිවකුටත් බුරලක් ලැබීමට ඉඩ නොතබන බවත් ගුවන් සේවය සඳහන් කරයි.

මේ හේතුව නිසා ගුවන් යානය පැය 15ක් පමණ ප්‍රමාද වී ඇති බවත්, ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් එම ගුවන්තොටට සහ මගීන්ට ගෙවීමට ගුවන් සමාගමට සිදු වනු ඇති බවත් දැනගන්නට ඇත.