පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති


(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත්‍රයක් යොදාගෙන රළපනාවේ කලුගල් ඉවත් කිරීම වහාම නවතාදමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් මූලික විරෝධතාව පලවී තිබිණි.

ගොවි ජනතාවගේ සහ ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බව එහි පැමිණ සිටි ස්වේච්චා සංවිධාන නියෝජිතයෝ මහා සංඝ රත්නය වෙත සැලකර සිටියහ.

මහා සංඝ රත්නය වැව් බැම්ම මත වාඩිවී සත්‍යග්‍රහයකද නිරතවූ අතර දැනට පොලොන්නරුවේ ජනතාවගේ හදවත බඳු මෙම වැවේ විනාශය සඳහා යොදවා තිබෙන යන්ත්‍ර සූත්‍ර සහ පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසටද වාරිමාර්ග නිලධාරීන්ට බලකර සිටියහ.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්පි මහා සංඝ රත්නය විරෝධතාව දක්වමින සිටි ස්ථානයට පැමිණ වැව් බැම්මේ දැනට සිදු කෙරෙන සංවර්ධන කාර්යය තාවකාලිකව නැවැත්විමට සහ ඉදිරියේදී පවත්වනු ලබන සාකච්ජාවකින් පසුව ගනු ලබන තීරණ දැනුම් දීමටත් පොරොන්දුවීමෙන් පසුව මහා සංඝ රත්නය ඒ ස්ථානයෙන් විසිර ගියහ.